Home » Editorial Note Category
තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය දැන් සැම තැනම කතා කරන මාතෘකාවක් වෙලා. පහුගිය කාලය තුළ Mozilla Firefox, ලිනක්‌ස් මෙහෙයුම් පද්‌ධති වගේම Microsoft Windows Vista සහ MS Office 2007 පැකේජයන් පවා සිංහලට පැමිණීම මෙහිලා විශේෂ කොට දක්‌වන්‌න පුලුවන්. එමෙන්‌ම නුදුරු අනාගතයේදී තව තවත් වටිනා මෘදුකාංග දේශීයකරණය වෙනු ඇති.
ඉංග්‍රීසි මෘදුකාංග වලට සිංහල අතුරු මුහුණත් (interface) සැකසීම දේශීයකරණයට ප්‍රමාණවත් නොවේ. අපගේ දැක්‌ම අනුව දේශීයකරණය දෙයාකාරයකින් සිදුවිය යුතු යි. පළමුව දේශීය ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය දැනුම ඉහල දැමිය යුතුය. ගොවිපලේ සිට කර්‌මාන්‌ත සහ කාර්‌යාලීය මට්‌ටම දක්‌වා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මේ යටතට වැටේ. භාෂාව මේ සඳහා විශාල බාධකයක් විය හැකි බැවින් දේශීයකරණයට සිදු කිරීමේදී ඒ ඒ අංශයන්‌ගෙන් රටට සිදුව ඍජු සහ වක්‍ර බලපෑම් අනුව ඒවාට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්‌මක කළ යුතුය.
දෙවන කොටසට අයිති වනුයේ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා තාක්‍ෂණවේදීන් සැකසීමේ කාර්‌යයයි. මේ සඳහා ක්‍රමවත් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ට සහ දැනට එම ක්‍ෂේත්‍රෙය් නියැලෙන අයට ලබාදීම අනිවාර්‌ය වේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා අතිරේක විෂයක් ලෙස තොරතුරු තාක්‍ෂණය(ICT සහ GIT) හඳුන්‌වා දීම මෙහි ලා අගය කළ යුතු ක්‍රියාමාර්‌ගයකි. එසේම නව විෂය නිර්‌දේශය යටතේ උසස් පෙළ ප්‍රධාන විෂයක් ලෙස තොරතුරු තාක්‍ෂණය (IT) ඉගැන්‌වීමට ආරම්‌භ කිරීම වඩාත් අගය කළ යුතුය. ඉතා වටිනා අගය කළයුතු විෂය නිර්‌දේශයකින් එය සමන්‌විතය.
අපගේ දැක්‌මට අනුව දැනට අරටුව ශක්‌තිමත්‌ව සැකසෙමින් පවතී. අනෙකුත් බාහිර කරුණු ද, එයට අවශ්‍ය කරන ශක්‌තිය ද ලබාදේ නම් ත්‍රස්‌තවාදයෙන් මිදුනු අපේ රටට අහිමිව ගිය ආර්‌ථික ස්‌ථානයද නැවත හිමිකරදීමට අනාගත පරපුරට හැකි වනු නොඅනුමානය.
Posted on May 10, 2010 · Categorized under Editorial Note · Sinhala
cPlus සඟරාව නිකුත් කළ දිනයේ සිට පාඨක ඔබගෙන් ලැබුනු සියළු ප්‍රතිචාර වලට අපගේ ස්‌තූතිය. පරිගණක හා අධ්‍යාපනික ඩිජිටල් සඟරාවක් ලෙස නැගී සිටීමට ඔබෙන් ලද සහයෝගය අප ඉතා අගය කරමු.
අපේ අරමුණු මෙයයි, අපි කරන්‌නේ මෙන්‌න මේවා යැයි කිමට වඩා එය ක්‍රියාවෙන්‌ම පෙන්‌විය යුතු යැයි අපි දැඩිව විශ්‌වාස කරමු. එය අප සාර්‌ථකව සිදු කර ඇතැයිද අපි සතුටු වෙමු. එසේ වුවත් පාඨක ඔබ වෙනුවෙන් අප සඟරාව ගැන ස්‌වයං විචාරයක් කරන්‌නට දැන් හොඳම කාලයයි.
අප වඩා මූලික තැනක් දෙන්‌නේ අන්‌තර්‌ගතයේ ගුණාත්‌මක භාවයට මිස ප්‍රමාණයට නොවෙයිි. එසේම අන්‌තර්‌ජාලයෙන් බාගත කරගන්‌නා මෘදුකාංග ආදිය මගින් සංයුක්‌ත තැටිය පුරවා දැමීමේ අවශ්‍යතාවයක් අපට නැත. අනෙක් අතට අප සෑමවිටම උත්‌සාහ ගන්‌නේ ප්‍රතිරූපණ අයිතිය මත තදින් පිහිටුවා කටුයුතු කිරීමටය. ඇතුලත් වන සෑම ලිපියක්‌ම ඒ ඒ අංශයේ ප්‍රවීණයන් විසින් රචිත ඒවා මිස අන්‌තර්‌ජාලයේ ලිපි පරිවර්‌තනයෙන් පළ කරන ලද ඒවා නොවේ.
මෙවර කලාපයේ සිට අප විසින් මුද්‍රණය සඳහා ප්‍රමුඛතාව වැඩි කිරීමට තරමක් කුඩා අක්‍ෂර සහ නව වින්‍යාසයක් යොදාගැනීමට තීරණය කෙරුණා. ඒ බොහොමයක් දෙනා තවමත් කියවීම සඳහා මුද්‍රිත මාධ්‍ය යොදාගැනීමට කැමත්‌තක් දක්‌වන බව හැඟුනු නිසයි.එසේම බොහෝදෙනාගේ ඉල්‌ලීමට අනුව අප සංයුක්‌ත තැටිය මත ස්‌ටිකරයක් නොමැති මුද්‍රණයකට යොමුවීමට තීරණය කෙරුණා.
සංයුක්‌ත තැටියේ මෘදුකාංගය හැකිතාක් සරලව ගෙන ඒම අප මුල සිට තීරණය කරන ලද්‌දක්. සජීවී කරණ වලින් එය විචිිත්‍රව ඉදිරිපත් කළ හැකි මුත් පාඨකයා හට පහසුවෙන් අවශ්‍ය ලිපි සහ වැඩසටහන් කියවීමේ හැකියාව ලබාදෙන අයුරින් සහ පාඨකයාට අපහසුවක් නොවන අයුරින් එය ගෙන ඒමට අප උත්‌සාහ කරනවා. එක් එක් කලාපයට වෙනස් වෙනස් අතුරුමුහුණත් (graphical interface) ලබා දිය හැකි වුවත්, එකම ආරක අතුරු මුහුණතක් ලබා දීම පහසුවක් ලෙසින් අප දකින බැවින් එලෙස ඉදිරිපත් කරමු.
cPlus සඟරාවේ ගමන් මග තීරණය කරන ප්‍රධාන නියමුවා පාඨක ඔබය. ඔබගේ යෝජනා චෝදනා අප අගය කොට සලකමු.
Posted on April 9, 2010 · Categorized under Editorial Note · Sinhala
මේ ශිෂ්‌ඨාචාර ගතවීමට කාලයයි. ශ්‍රී ලංකාව තුළ පරිගණකය යම්‌තාක් දුරකට දැන් මුල් බැසගෙන හමාරය. අඩුම තරමින් ඉන්‌ටනෙට් හෝ පරිගණකය යන වචනයවත් අසා නොමැති අයෙක් සොයාගැනීමට අපහසු තරමටවත් එය සමාජගතවී ඇත. ඒ පිළිබඳ තුන්‌වන ලෝකයේ රටක් ලෙස අපට යම්‌තාක් දුරකට සතුටු විය හැකියි.
නමුත් අපට එපමණකින් සතුටු විය නොහැකිය. මුල් කාලයේ ශ්‍රී ලංකාව තුළ පරිගණක සඳහා හරි හැටි නීතියක් නොතිබිණ. අනෙක් අතට සාමාන්‍ය ආදායමක් ලබන පුද්‌ගලයෙකුට හොර මෘදුකාංගයක් භාවිතා කරනු විනා වෙන විකල්‌පයක් නොතිබිණිි.
නමුත් ඒ පරිවර්‌තන අවධියෙන් අපි දැන් මිදිය යුතුය. තොරතුරු තාක්‍ෂණය තුළ මහත්‌මා ලක්‍ෂණ ස්‌ථාපනය කළ යුතුය. 2007 අවුරුද්‌දේ පරිගණක අපරාධ පිළිබඳ පනත බල ගැන්‌වීම සාධනීය ලක්‍ෂණයකි. නමුත් දැන් නීතිය පොතට පමණක් සීමා නොවී බල ගැන්‌වීමට කාලයයි. අද වන විට වින්‌ඩෝස් පරිගණක පද්‌ධතියේ නීති විරෝධී පිටපත් අලෙවිය තහනම්‌ය. එයද සාධනීය ලක්‍ෂණයකි. ඔබ පරිගණක මෘදුකාංගයක් සඳහා මුදල් ගෙවීමට අකමැතිනම් හොඳම විකල්‌පය FOSS (Free and open source software) භාවිතා කිරීමයි.
එතකින් අප නැවතිය යතු නොවේ. පුවත්‌පත් හා සඟරා වැනි මාධ්‍ය භාවිතයේ පවා එය ආචාරධර්‌මයක් විය යුතුය. නමුත් කණගාටුවකට මෙන් අද පලවන බොහෝ ඩිජිටල් සඟරාවලින් මෙය සිදුනොවේ. ඔවුන්‌ගේ පරිගණක සඟරාවලින් උගන්‌වන්‌නේ වින්‌ඩෝස් ක්‍රැක් කරන හැටිය. හොරකම් කරන හැටිය. ඒ යමෙක් ප්‍රථමයා වූ පමණින් ප්‍රමුඛයා නොවන්‌නේය යන්‌න පසක් කරමිනි.
හැදෙන්‌නට කල් ඇත. අපි වෙනස් වෙමු. අනුන්‌ගේ ප්‍රතිරූපණ අයිතියට (copyright) ගරු කිරීමට ඉගෙන ගනිමු. තව දුරටත් මුරණ්‌ඩු වන්‌නට සිතන්‌නේනම් පරිගණක අපරාධ පිළිබඳ පනත යටතේ ක්‍රියාත්‌මක කිරීමටද අප පසුබට නොවෙමු.
Posted on February 28, 2010 · Categorized under Editorial Note · Sinhala
රටක සංවර්ධනය සඳහා තොරතුරු තාක්‍ෂණය කොතරම් වැදගත්ද යන්න අප මෙහිදි කතා නොකරමු. මන්ද ඊට පෙරාතුව තොරතුරු තාක්‍ෂණයේ නිවැරදි භාවිතයක්වත් මෙරට පැවතිය යුතු නිසාය. රාජ්‍ය හෝ වේවා පෞද්ගලික හෝ වේවා ප්‍රමිතිකරණකයට ලක්නොවූ තොරතුරු තාක්ෂණය භාවිතය සහ වගකීම හඳුනා නොගත් වෘතිකයන් අතින් නම් අප ඉදිරියෙන් සිටිමු.
ප්‍රමුඛතමයන් සහ ප්‍රථමයන් යැයි තමන්ම කියාගන්නා තාක්ෂණික අංශයේ ආයතන වල පවා තත්වය මෙයයි. අඩුම තරමේ මෙවන් ආයතනයක ප්‍රාථමිකම අවශ්‍යතාවක් වන වෙබ් අඩවියක් පවා මේ ආයතන වලින් බහුතරයකට නැත. තිබුණත් ඒවා වසර ගණනකින් යාවත්කාලීන කිරීමටවත් ඔවුන් සැලකිලිමත්වී නොමැත.
මෙම ගැටළුවට ප්‍රධානතම හේතුව වනුයේ අපරටේ වෙසෙන තොරතුරු තක්ෂණවේදීන් ගේ ඇති දුර්වල තාවයයි. අප සිහියේ තබාගත යුත්තේ තොරතුරු තාක්ෂණය යනු වගකීමක් සහිත වෘතියක් බවයි. තොරතුරු තාක්ෂණ වෘතීයවේදීන් (professionals) ලෙස හඳුන්වන්නේ අයිතීන් ඉල්ලා සිටින්නන් නොව අයිතීන් ලබා දෙන්නන්ය. සමාජයෙන් යමක් ලබාගන්නට නොව සමාජයට යමක්දීමට සැරිසී සිටිය යුතු කොටසකි.
සත්‍ය වසන් කරමින් සහතිකලත් programmer යනුවෙන් නමක් ගත් පමණින් මසකට පනස් දහසේ සිට ආදායමක් ලබාගත හැකි බව පවසමින්, තොරතුරු තාක්ෂණය වෘතිකයන් සිල්ලරට වෙළඳ පොලේ තොග ගණනින් විකිණෙමින් පවතී.
අවසාන වශයනේ කිව යතුත්තේ.මෙවන් තත්වයන් නීති පනත් මගින් නොව සමාජය දැනුවත් බවින් සහ ස්වයං විනය මගින්ම පමණක් නිවැරදි කරගත යුතු බවයි. නොඑසේනම් ඔබටත් අපටත් සැමදා තුන්වන ලෝකයේ රටක් ලෙසම රැඳී සිටිය හැක.
Posted on February 13, 2010 · Categorized under Editorial Note · Sinhala
අනාගතයට යොමුවූ විශ්ව විසිරි දැනුම් සම්භාරයක් සමගින් මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍ය සංයෝජනයක් ලෙස ඉදිරිපත් කරන සඟරාමය ඇත්දැකීමක පළමු පියවරයි. පාඨකයා ගෙවන මුදලට උපරිම සාධාරණයක් කරමින් ඩිජිටල් සඟරාවකට යා හැකි ඉම සැරි සරන්නට මේ සාමූහික ව්‍යායාමය ඉවහල් වෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු .
cPlus සඟරාව, තොරතුරු තාක්‍ෂණ, අධ්‍යාපනික, ප්‍රපංච සහ විනෝදාත්මක අන්තර්ගතයන් සහිතව මාසිකව ඔබ අතට පත්වනු ඇත. පරිගණකයක් ඉදිරියට වී අන්තර්ජාලයේ ලිපි පරිවර්තනයෙන් ගෙඩි පිටින් කරුණු ඇතුලත් කර නිපදවන ඩිජිටල් සඟරා වලට වඩා වෙනස්ම වූ අත් දැකීමක් ඔබ වෙත ගෙන ඒම අපගේ ඒකායන බලාපොරොත්තුවයි .සැමගේ ප්‍රතිරූපණ අයිතියට (copy rights) ගරුකරමින් ඒවා සුරැකීමට ද සදාචාරාත්මක මාධ්‍යකරණයක් වෙනුවෙන් ද අපි වගකීමෙන් කටයුතු කරන්නෙමු.
මංගල කලාපය මූලික ලෙස පරිගණකය හරහා සිංහල හැසිරවීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත. එසේම keyTouch නම් cPlus සඟරාව විසින්ම නිපදවන ලද මෘදුකාංගය නොමිලයේම සඟරාව සමග ඔබට පිරි නමනු ලබයි. මෙහි වාණිජ වටිනාකම සඟරාවේ මිලට වඩා කිහිප ගුණයක් වන නමුත්්, පරිගණකයේ සිංහලකරණයේ අභිවෘධිය වෙනුවෙන් අපගෙන් ඉටු විය යුතු සේවයක් සේ සලකා නොමිලයේම පිලිගැන්වීමට අදහස් කලෙමු.
‘ප්‍රපංච’ය cPlus සඟරාවේ තවත් සුවිශේෂී අතිරේකයකි. තමන් දෙසටම ආපසු හැරීබැලීමට පාඨකයා යොමු කරවන බුද්ධි කලම්භනයක් සේ කෙටියෙන් අර්ථකතනය කළ හැක. කිසිදු ජීවනාවබෝධයකින් තොරව සාම්ප්‍රදායික ජීවන රටාවක් තුල අනවරත ගමනක යෙදෙන මිනිසා, තමන් ජීවිතයක් තුල ජීවත් වෙනබවට සවිඥ්ඥාණික කිරීමත්, පවතින සමාජ ප්‍රපංචයන් නැවත විමසීමට ලක්කිරීමත් මෙහි මූලිකම අරමුණු වේ. මෙරට යාන්ත්‍රික නොවූ බුද්ධිමතුන්ගෙන් ප්‍රපංචය පෝෂණය වනු ඇත.
cPlus පිළිබඳ ඔබගේ වටිනා ප්‍රතිචාර හා විවේචන බලාපොරොත්තු වෙමින් මේ වදන් පෙල අවසන් කරන්නේ නව ආරම්භයක් සනිටුහන් කරමිනි෴
Posted on January 3, 2010 · Categorized under Editorial Note · Sinhala