Home » Sinhala Category
YouTube දැනට පවතින නොමිලේ වීඩියෝ වැඩසටහන් අන්තර්ජාලයට එක් කර දෙන වැඩසටහන් අතරින්වඩා ජනප්‍රියම වැඩසටහනයි. Web අඩවියක් ලෙස සැලකුවත් එය ලොව 3න් වෙනුවට වැඩිම පිරිසක් නරඹන වෙබ් අඩවිය යි.
HTML5 නම් නව HTML වෙළුම ආරම්භයත් සමගම වගේ YouTube විශේෂයෙන් HTML5 video පහසුකම යොදා වීඩියෝවක් පෙන්වන වෙනමම වෙබ් සේවයක් ආරම්භ කළා. බොහෝ දෙනා සිතුවේ අනාගතයේදී YouTube දැනට භාවිතා කරන Flash Plugin එක අත හැර නව HTML5 හි ඇති video ටැග් පහසු කම භාවිතා කරනු ඇත කියා යි. නමුත් YouTube සඳහන් කර සිටින්නේ මේ ආකාරයට YouTube සේවාව සම්පූර්ණයෙන්ම HTML5 වලට මාරු කළ නොහැකි බවයි. ඒ සඳහා HTML5 තුළ පහසුකම් ස්ථාපනය වී නැති බවයි.
තවදුරටත් YouTube හී තාක්ෂණික බ්ලොග් අඩවියේ සඳහන් කොට ඇත්තේ HTML5 video පහසුකම Flash සඳහා ආදේශකයක් නොවන බවයි. එසේ කරන්නට නම් YouTube සේවාවේ ඇති පහසුකම් බොහෝමයක් කැප කිරීමට සිදුවෙනවා. උදාහරණයක් විදියට Flash තුළ වීඩියෝව පරිශීලකයාට අවශය ලෙස වීඩියෝවේ තත්වය පහත් කිරීමේ (dynamic video quality control) පහසු කම, කැමති තැනක සිට වීඩියෝව නැරඹිමේ පහසුකම, සම්පූර්ණ තිරය දක්වා වීඩියෝව විශාල කිරීමේ හැකියාව ආදී පහසුකම් රැසක් HTML5 හී video ටැක් එක භාවිතා කර කරන වීඩියෝ දර්ශනයකදී කළ නොහැකියි.
HTML5 වල video tag එක සමග වීඩියෝ දර්ශනයක් ඇතුළත් කිරීම සමාන්‍ය වෙබ් අඩවියකට පහසුවක් වුවද YouTube වැනි සේවාවකට එය තවමත් හරිහැටි සමපාත නොවේ. කෙසේ වුවත් YouTube විසින් HTML5 ඔස්සේද වීඩියෝ බැලීමේපහසුකම දිගටම ලබාදීමට තීරණය කර ඇත. Flash සඳහා තවමත් සහය නොදක්වන iPhone හිමියන්ට මෙය යහපත් ආරංචියක් වෙනු ඇත.
Posted on July 2, 2010 · Categorized under News · Sinhala
ලොවපුරා මිලියන 17 දෙනෙකුට වඩා භාවිතා කරන Flock Web බ්‍රව්සරය නිර්මාණයට මින් පෙර භාවිතා කළේ Firefox කේතයන් වුවද ලඟදීම නිකුත් කරන්නට යෙදෙන Flock 3 වෙළුමේ සිට ඉදිරියට Google Chrome භාවිතා කරන්න තීරණය කොට ඇත. මෙම වැඩසටහනේ බීටා වෙළුම භාගත කිරීමට පහත ලිපිනයට පිවිසෙන්න. http://beta.flock.com/
Posted on June 20, 2010 · Categorized under News · Sinhala
Cassandra කෙටියෙන් හැඳින්‌වුවහොත්, විවෘත කේත බෙදා හරින ලද දත්‌ත කළමනාකරණ පද්‌ධතියක් (open source distributed non relational database management system). මෙය ඉතා විශාල දත්‌ත හැසිරවීම සඳහා භාවිතා වන දත්‌ත පද්‌ධතියකි. මේ වන විට Apache committers එක විසින් සංවර්‌ධනය කිරීම් කෙරුනත් මුලින්‌ම cassandra පද්‌ධතිය නිර්‌මාණය කෙරුනේ facebook අඩවිය සඳහායි. (facebook මූලික වශයෙන් php, MySQL සහා Apache භාවිතා කරයි. Index search එන්ජිම වේගවත් කිරීම සඳහා cassandra නිර්මාණය කෙරිණ.)
මේ වන විට Digg, twitter, reddit ආදී ටෙරාබයිට් සිය ගණන් වලින් දත්‌ත හුවමාරු වන වෙබ් අඩවි වල දත්‌ත හසුරුවන්‌නට යොදාගන්‌නේ cassandra database system එකයි. මෙය NoSQL භාවිතයෙන් Google විසින් භාවිතා කරන BigTable වල ඇති ColumnFamily database මොඩයලය ආදර්‌ශයට ගෙන Dynamo දත්‌ත ගබඩා කිරීමේ ක්‍රමවේදයට අනුව නිපදවූවක්.
මෙම database system එක server කීපයක දත්‌ත අනු ලෙස (multimple node) පිටපත් කරගනී. මේ නිසා එක් නෝඩයක් යාවත්‌කාලීන කිරීම නැවතුනහොත්, තව එකකින් නැවත පිහිටවනු ලබයි. ඒ අනුව දත්‌ත ඉල්‌ලන විට අඩුවෙන්‌ම භාවිතාවෙන සර්‌වරයෙන් දත්‌ත සැපයිය හැක. එසේම පද්‌ධතියේ දරා ගැනීමේ හැකියාව වැඩි කිරීමට අවශ්‍යනම් සිදුකළ යුත්‌තේ තවත් server පද්‌ධතියට සම්‌බන්‌ධ කිරීම පමණයි. facebook වැනි විශාල දත්‌ත ගබඩා ඇති වෙබ් අඩවි සඳහා මෙවැනි දත්‌ත පද්‌ධතියකින් ලැබෙන සේවය ඉතා ඉහලයි.
මෑතක් වෙනතුරුම Digg වෙබ් අඩවිය භාවිතා කළේ MySQL දත්‌ත පද්‌ධතියක් වුවත් පසුගිය මාසයේ ඔවුන් Cassandra වලට මාරු වුනා. Digg අඩවිය ප්‍රකාශ කර සිටින්‌නේ තම පද්‌ධතියට MySQL දරාගත නොහැකි බවයි. තවද Digg අඩවියේ සමහර අංග MySQL තුළ ක්‍රියාත්‌මක වීම සඳහා තත්‌පර 14ක් පමණ ගතවුවත් Cassendra එය තත්‌පරයක් ඇතුළත කරදීමට සමත් බව පැවසෙනව.
Posted on May 13, 2010 · Categorized under Article Archive · Sinhala
වසර 2012, දිනය දෙසැම්බර් 21. විවිධ ආගම් සහ සම්ප්‍රදායන් විසින් සඳහන් කරන අවසන් දිනය එළඹී ඇත. බොහෝදෙනා කතාකරන මාතෘකාවක් වුනු 2012 ලෝක විනාශය Forbidden archives තුලින්.
2012 සංසිද්ධිය වෙත බොහෝ දෙනා සිතන්නට යෙදුනේ 2012 Doomsday චිත්‍රපටිය තිරගත වීමත් සමගයි. 2012 සංසිද්ධිය මායන් වරුන්ගේ දිනදර්ශනය හා ඍජු සම්බන්ධතාවක් දක්වයි. දින 144000ක දීර්ඝ අවුරුදු චක්‍රයක් (බක්ටූන්) අවසන් වන්නේ 2012 දෙසැම්බර් 20 වන දිනයි. එම නව යුගය ඇරඹුම දෙසැම්බර් 21 දින සිදුවේ.(තවත් මතයකට අනුව මෙය දෙසැම්බර් 23 වන දින වේ.) නමුත් මෙදින ලෝක විනාශය සිදුවිය හැකිද? මායන් වරු එක් වර්ෂ චක්‍රයක් ආරම්භය ඉතා උත්සව ශ්‍රීයෙන් සමරන බව කියවේ. එවන් දිනයක ලෝක විනාශය සිදු විය හැකිද?
මායන් වරු කැලැන්ඩර් කීපයක් භාවිතා කර ඇත.ඉන් ප්‍රධානම කැලැන්ඩරයට අනුව වර්ෂ චක්‍රයකට වර්ෂ 394 කට ආසන්න කාලයකි. ඒ අනුව පසු ගිය බක්ටූනය (b’ak’tun) ගෙවීගියේ වසර 1618 සැප්තැම්බර් 18වන දිනයි. ප්‍රවාදයන්ට අනුව කියවෙන්නේ මායන් දීර්ඝ දින දර්ශනය ආරම්භ වී ඇත්තේ ලෝකය ආරම්භ දිනයේදීය. එනම් ක්‍රිස්තු පූර්ව 3114 ඔක්තෝම්බර් 11 වන දිනයි. එය ඇරඹෙන්නේ බක්ටූන 13, 12 , 11 ආදීලෙස අඩුවෙමින්. එය 0 දක්වා ගමන්කොට නැවතත් එකිනෙක වැඩිවීමට පටන්ගනී. ඒ අනුව මේ අප ගත කරන්නේ ලෝක ආරම්භයේ සිට 25 වන බක්ටූනයයි. නො එසේනම් 12 වන බක්ටූනයයි. 2012 එලඹීමට නියමත වන්නේ 13න් වන බක්ටූනයයි. නමුත් මේ පිළිබඳවද විවිධ මත භේද පවති. නමුත් මේ ලිපියේ වපසරියෙන් ඔබ්බට යන බැවින් ඒ පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවේ.
ඊලඟට අපි මේ කැලන්ඩරය පසෙක තබා යොමුවන්නේ නොස්ත්‍රදාමුස්(Nostradamus) වෙතටයි. නොස්ත්‍රදාමුස් බොහෝ දෙනා දන්නා පරිදි අවුරුදු 500කට පමණ පෙර අද ගැන සාර්ථක අනාවැකි පළකලේ යැයි ප්‍රසිද්ධ අයෙකි. ඔහුගේ අනාවැකි නිවැරදි බව බොහෝ දෙනා පිලිගන්නා අතර සමහරුන් පවසන්නේ ඔහුගේ ගැටලු සහගත වැකි අනාගතයට හරියන ලෙස අපි විසින් සකස් කරගන්නා බවයි. කෙසේ නමුත් නොස්ත්‍රදාමුස් ගේ අනාවැකි එක එල්ලේ බොරුවක් ලෙස අපට ඉවත දැමිය නොහැක. නොස්ත්‍රදාමුස් විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුනු The Centuries නම් ග්‍රන්ථය මහත් ප්‍රසිද්ධියක් උසුලයි. මොහු විසින් අනාවැකි කීම සඳහා සහජ හැකියාව, ජ්‍යෝතිෂය, සින්දුරම් ශාස්ත්‍රය(Alchemy)ආදිය භාවිතා කර ඇත. අනාවැකි ඉදිරිපත් කිරීමේදී කරුණු කියවූ විට එකවරම නොවැටහෙන පරිදි ඉදිරපත් කිරීම ඔහුගේ තවත් විශේෂත්වයකි. The Centuries නමින් පලකරන ලද ග්‍රන්ථයේද සියලු අනාවැකි මෙසේ සඟවා ප්‍රකාශ කර ඇත. නමුත් ඒ අදාල සිද්ධිය සිදුවු පසු මේ කියන්නට යෙදුනේ මෙම අනාවැකිය බැව් පැහැදිලව පෙනෙන ලෙස ඒවා ලියා ඇත. කෙසේනමුත් බොහෝ දෙනා විසින් බලාපොරොත්තු වුන පරිද තුන්වන ලෝක යුද්ධයක් සිදු නොවීම නොස්ත්‍රදාමුස්ගේ අනාවැකි ගැන ලොකු විශ්වාසයක් තැබිය නොහැකි තත්වයකට ගෙන එන්නක් වී ඇත.
The young lion will overcome the older one,
On the field of combat in a single battle;
He will pierce his eyes through a golden cage,
Two wounds made one, then he dies a cruel death.
යුධ බිමේ දී එක් සටනකදී
තරුණ සිංහයා විසින් මහළු සිංහයා පරදවයි,
ඔහු විසින් ඔහුගේ ඇස් රන්කූඩුව හරහා යයි
තුවාල දෙකක් එකක් වේ, පසුව ඔහු දුක්ඛිත මරණයකට පත්වේ.
(Century 1, Quatrain 35)
මේ අනාවැකිය ප්‍රංශයේ දෙවන හෙන්රි රජුගේ මරණය ගැනයි. හෙන්රි රජු Jousting නමින් හැඳින්වෙන අශ්වයන් පිට නැගි හෙල්ලක් අතින් ගෙන කරන කරන ද්වන්ද සටනකදී දරුණු ලෙස තුවාල ලබා මිය ගියේය. මෙම සටනේදී ප්‍රතිවාදියා වූ Gabriel, comte de Montgomery සහ හෙන්රි රජු යන දෙදෙනාම සිංහයා කොටා ඇති ලෝහ ඇඳුමක් හැඳ සිටියේය. ප්‍රතිවාදියා ඔහුට වඩා අවුරුදු 6ක් බාලය. The young lion will overcome the older one, On the field of combat in a single battle; යන වැකියෙන් එය පසක්වෙයි. මෙහිදී තුවාල දෙකක් සිදුවුන අතර. එකක් දරුණුව රජු මියගියේය. (Two wounds made one, then he dies a cruel death.) නොස්ත්‍රදාමුස් කී දෙයෙක් ලෙහෙසියෙන් අත හැරිය නොහැකි බව මෙයින් පසක් වේි.ඔහු John F. Kennedy ඝාතනය, 911 සිද්ධිය, නැපෝලියන් බොනපාට්, හිට්ලර් යන අය ගැන ප්‍රසිද්ධ අනාවැකි පලකළ අයෙකි. 2012 සඳහා නොස්ත්‍රදාමුස් කිසියම් අනාවැකියක් පල කළ ඇතිද යන්න අපට ඉතා වැදගත් වන්නේ ඒ නිසාය. බොහෝ විට නොස්ත්‍රදාමුස් වර්ෂය පවසන්නේ ව්‍යංගයෙනි. නොඑසේ නම් ඒ ආසන්න සිද්ධියක් හා ගලපා ගනිමින් අපට වර්ෂය සොයාගැනීමට සිදුවේ. එසේ නමුදු පසු කාලිනව සොයාගත් මුද්‍රණයෙන් පිට නොවූ නොස්ත්‍රාමුස් විසින් නිර්මිත යැයි සැක කරන චිත්‍ර සටහන් කීපයකට අනුව ලෝක විනාශයක් ගැන කියවෙන බවට මත පලවේ. මෙම ලිපිය සමග ඒ පිංතූරද ඇතුලත් වේ.
අපට පෙනෙන අහස පෘථිවියට, සෞරග්‍රහ මණ්ඩලයට සාපේක්‍ෂව වර්ෂ 72කදී අංශක එකකින් වාමාර්තව භ්‍රමණයවේ. මෙය පෘථිවියේ ඇලය නිසා සිදුවන්නකි. මේ හේතුව නිසා වසර 26000කට පමණ වරක් සූර්යා අප සිටින චක්‍රාවාටයේ (කිරිසයුර – Milky Way) මධ්‍ය ලක්‍ෂයට පැමිනේ. මායන් දින දර්ශනයට අනුව 2012 දෙසැම්බර් 21 වෙනි දින වන විට නැවතත් පෘථුවිය සූර්යා සහ කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂ එකිනෙක එකම රේඛාවක පිහිටන බවට මතයක් ඇත. නමුත් මෙය සම්පූර්ණයෙන්ම නිවැරදි මතයක් නොවේ. මන්ද සූර්යා කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂය පහු කරන එක දිනයක් නොමැති විමයි. කෙසේ වෙතත් මේ කාලයේදී සූර්යා කිරිසයුරේ මධ්‍ය ලක්‍ෂය පසු කරමින් සිටි. මේ සඳහා අවුරු 30ක් පමණ ගත වේ. ඒ අනුව 2012 දෙසැම්බරය කිසිදු විශේෂත්යක් නොදක්වයි. කෙසේ වුවත් බක්ටූනය අවසන්විමත් ගැලැක්ටික් අලයින්මන්ට් නමින් හැඳින්වෙන මෙම සංසිද්ධියත් යන දෙකම එකවර සිදුවන බැවින් එයින් ලෝක විනාශයක් කියවෙන බව සමහර අය මත පල කරයි. මේ සඳහා සාක්‍ෂි ලෙස දක්වන්නේ නොස්ත්‍රදාමුස් විසින් ඇඳ ඇති බවට විශ්වාස කරන මේ චිත්‍රයි.
1 රූපය තුළ ඇති සූර්යා දෙස බලන්න – සූර්යාගේ කිරණ 7ක් ඇත එසේම ඉහල රිබන් පටියත් සමග අති චක්‍රය තුළ රේඛා 7ක් ඇත. අනෙක් සෑම චිත්‍රයකම රිබන් පටියක් සහ චක්‍රයක් ඇත. එසේම ඒ හැම චක්‍රයකම රේඛා 8 බැගින් ඇත. මේ චිත්‍ර අතර ඇති සම්බන්ධතා විවිධ අදහස් සහ මතභේද ඇත. කෙසේ නමුත් මේ සෑම චිත්‍රයකම ඇති චක්‍රය විසින් සූර්යා නිරූපණය වන බව පලමු චිත්‍රය මගින් පැහැදිලි වේ. රතු තොප්පියක් පැලඳ සිටින සිංහයා සිංහ රාශිය නිරූපණය කරන අතර හිරු කිරණ මගින් සත්වන චක්‍රය නිරුපණය කරයි. (ජ්‍යෝතිෂයට අනුව විවිධ රාශීන් සඳහා වර්ෂ යුගයන්ට බෙදීමක් කරයි) ඒ අනුව සිංහ යුගයේ ආම්භවන 8වන චක්‍රය මෙමගින් නිරුපණය කරන බව සිතිය හැක. 7වන රූපයේදී චක්‍රය තුළ සූර්යා නොමැත. අනික් චිත්‍රවල පැවති පොත මේ චිත්‍රෙය් හිස්ව ඇත. සූර්යා නැවත උදා නොවන බවත් ජීවිතය පිළිබඳපොත(book of life) හිස්ව ඇති බවත් එක් මතයකට අනුව කියවේ.
මෙහි රූප එකිනෙක සම්බන්ධ කරමින් විවිධ මත පලකොට ඇත. ඒ සෑම එකකින්ම බොහෝ දෙනා උත්සාහ කරන්නේමේ චිත්‍ර මගින් 2012 සංසිද්ධිය පිළිබඳ කියවෙන බවයි.
Web bot නම් අනාවැකි කිවහැකි පරිගණක වැඩසටහනකි. මෙය මූලිකව අන්තර්ජාලයේ සෙවීම් කිරීම මගින් කොටස් වෙළඳ පොල සහ ආර්ථික වැටීම් නැගීම් පිළිබඳ අනාවැකි සිදු කිරීම සඳහා නිර්මාණය කළ මෘදුකාංගයකි. නමුත් මෙම මෘදුකාංගය භාවිතයෙන් අනෙකුත් අනාවැකිද කිව හැකි බව එහි නිර්මාතෘවරුන් පවසයි. මොවුන් විසින් පළකරන ලද අනාවැකිවල නිවැරදිතාවය 50%ක් පමණ වේ. web bot නිර්මාතෘ විසින් 2012 දී පෘතුවියේ උත්තර හා දක්‍ෂිණ ධ්‍රැව වල චුම්භකතාවය මාරු විය හැකි බව පවසා ඇත. නොඑසේනම් න්‍යෂ්ටික පිපිරිම් කීපයක් සිදුවිය හැකි බව පවසයි.
2012 සංසද්ධිය ඉතා සංකීර්ණ වූ මති මතාන්තර මතින් ගොඩ නැගි ඇත. කෙසේ වුවත් මේවා බොහෝදුරට ඒ ඒ මත ඉදිරිපත් අයට පිලිගැනීමට අවශ්‍ය කරුනු අවශ්‍ය ලෙස දැකීමට ඇති ඕනෑකම නිසා සාදාගත් ඒවා වීමට බොහෝ දුරට ඉඩ ඇත. අනෙක් අතට මායන් කැලැන්ඩරයට අනුව 2012දී ලෝක විනාශයක් පිළිබඳ ඍජු අදහක් නොකියවේ. නොස්ත්‍රදාමුස්ගේ යැයි සැක කරන චිත්‍ර ගැනද විවිධ මත ඇත. web bot මෘදුකාංගය වෙබ් අඩවි මගින් ලබාගන්නා තොරතුරු මත ප්‍රතිඵලයකට එලඹෙන බැවින් ඒ පිළිබඳ වැඩි විශ්වාසයක් තැබිය නොහැක.
ලීවේ. දසුන් සමීර වීරසිංහ
Posted on May 11, 2010 · Categorized under Article Archive · Sinhala
තොරතුරු තාක්‍ෂණය දේශීයකරණය දැන් සැම තැනම කතා කරන මාතෘකාවක් වෙලා. පහුගිය කාලය තුළ Mozilla Firefox, ලිනක්‌ස් මෙහෙයුම් පද්‌ධති වගේම Microsoft Windows Vista සහ MS Office 2007 පැකේජයන් පවා සිංහලට පැමිණීම මෙහිලා විශේෂ කොට දක්‌වන්‌න පුලුවන්. එමෙන්‌ම නුදුරු අනාගතයේදී තව තවත් වටිනා මෘදුකාංග දේශීයකරණය වෙනු ඇති.
ඉංග්‍රීසි මෘදුකාංග වලට සිංහල අතුරු මුහුණත් (interface) සැකසීම දේශීයකරණයට ප්‍රමාණවත් නොවේ. අපගේ දැක්‌ම අනුව දේශීයකරණය දෙයාකාරයකින් සිදුවිය යුතු යි. පළමුව දේශීය ඵලදායිතාව නැංවීම සඳහා අවශ්‍ය තොරතුරු තාක්‍ෂණය දැනුම ඉහල දැමිය යුතුය. ගොවිපලේ සිට කර්‌මාන්‌ත සහ කාර්‌යාලීය මට්‌ටම දක්‌වා තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීම මේ යටතට වැටේ. භාෂාව මේ සඳහා විශාල බාධකයක් විය හැකි බැවින් දේශීයකරණයට සිදු කිරීමේදී ඒ ඒ අංශයන්‌ගෙන් රටට සිදුව ඍජු සහ වක්‍ර බලපෑම් අනුව ඒවාට ප්‍රමුඛතාවය ලබා දී ක්‍රියාත්‌මක කළ යුතුය.
දෙවන කොටසට අයිති වනුයේ තොරතුරු තාක්‍ෂණය භාවිතා කිරීම සඳහා තාක්‍ෂණවේදීන් සැකසීමේ කාර්‌යයයි. මේ සඳහා ක්‍රමවත් අධ්‍යාපන ක්‍රමයක් සැකසීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ට සහ දැනට එම ක්‍ෂේත්‍රෙය් නියැලෙන අයට ලබාදීම අනිවාර්‌ය වේ.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා අතිරේක විෂයක් ලෙස තොරතුරු තාක්‍ෂණය(ICT සහ GIT) හඳුන්‌වා දීම මෙහි ලා අගය කළ යුතු ක්‍රියාමාර්‌ගයකි. එසේම නව විෂය නිර්‌දේශය යටතේ උසස් පෙළ ප්‍රධාන විෂයක් ලෙස තොරතුරු තාක්‍ෂණය (IT) ඉගැන්‌වීමට ආරම්‌භ කිරීම වඩාත් අගය කළ යුතුය. ඉතා වටිනා අගය කළයුතු විෂය නිර්‌දේශයකින් එය සමන්‌විතය.
අපගේ දැක්‌මට අනුව දැනට අරටුව ශක්‌තිමත්‌ව සැකසෙමින් පවතී. අනෙකුත් බාහිර කරුණු ද, එයට අවශ්‍ය කරන ශක්‌තිය ද ලබාදේ නම් ත්‍රස්‌තවාදයෙන් මිදුනු අපේ රටට අහිමිව ගිය ආර්‌ථික ස්‌ථානයද නැවත හිමිකරදීමට අනාගත පරපුරට හැකි වනු නොඅනුමානය.
Posted on May 10, 2010 · Categorized under Editorial Note · Sinhala
මෙම කලාපයේ
Computer Technology
- සමාජ ජාල හෙවත් Social Networks (Cover Story)
- ත්‍රිමාණයට ගිය රූප පෙට්ටිය | 3D Television
- Colombo Ride 3D
- Server නිවසේ සිටම පවත්වා යෑම
- Adobe CS5 දොරට වැඩුම
- සිංහල මිනි බ්ලොග් මැරතන්
- පරිවර්තන මැරතන් තරඟය
- හොරෙන් ආ iPhone 4G
- චීනයේ Golden Shield Project
- සිංහල බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාම
- සිංහල මිනි බ්ලොග් මැරතන්
- Computer Hardware
- How to disable the power and sleep buttons
- Oracle VirtualBox
Interactive Learning

- Adobe Illustrator – දුලිත් පතිරගේ
- Maya – අමිල සී කුමාරසිංහ
- Adobe Premiere – විරංග කටිපෙආරච්චි
- Adobe Photoshop – දුලිත් පතිරගේ
- Adobe After Effect – අමිල සී කුමාරසිංහ
- Inkscape – දසුන් සමීර වීරසිංහ
- Sinhala blogging
- Gimp
ප්‍රපංච

- ඔගස් කොම්ට්
- මිනිසාගේ සම්භවය සහ පරිණාමවාදය
- පද්‍ය සංදේශය
- රට පෙරළන ලියවිල්ල
- පෙම් කිරීම තහනම්
- පශ්චාත් නූතන වාදය
- රට පෙරළන ලියවිල්ල
- ලීක්වූ සඳ එළිය
- විතක් මධු පෙරා ගෙනැල්ලා
විශේෂාංග

- Chess – End Game Basic
- Fatal rain check – Part 3
- මැජික්
- Astronomy [SkyLk]
- නැතුවම බැරි විටමින්
- සඳමත ගොඩනැගිලි
අධ්‍යාපනික

- ඉංග්‍රීසි
- ජීව විද්‍යාව
- සංයුක්ත ගණිතය
- O/L ICT
Podcast

- Techකතා Episode 57 and Episode 56
- SkyLk Episode 13, Episode 14 and Episode 15
Posted on May 10, 2010 · Categorized under Issues · Sinhala
මාන කිවුවහම එක පාරට මතක් වෙන්නේ මොනවද? ඔව්, ද්විමාණය හා ත්‍රිමාණය තමයි. අපි ත්‍රිමාණ රූප ගැන කථා කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම දැනට මාන හතරක් හොයාගෙන තියෙනවා.ඇත්තටම මොකක්ද ඒ හතරවෙනි මානය? ඒ තමයි කාලය. ඔව් දැන් ඔබ හිතයි කාලය කොහොමද මානයක් වෙන්නේ කියලා. ඇත්තටම අපිට ඒක දකින්න බැරි නිසයි එහෙම හිතෙන්නෙ. හිතන්න, ඔබ මීට අවුරුදු පහකට කලින් පොඩි පැළයක් ඉන්දුව කියලා.අද වෙද්දි ගෙවිච්ච අවුරුදු පහ ඇතුළත ඒ පැළය ටිකින්ටික දළුදාල, අතුරිකිළි වැඩිල ලොකු ගහක් බවට පත්වෙලා තියෙනවා. අවුරුදු පහ තුළදි ගහ වැඩුණු බව ත්‍රිමාණය තුළින් අපිට පැහැදිලිව පෙනුණා. ඒත් ඒ ගතවෙච්ච කාලය අපිට පෙනුනෙ නෑ. නමුත් අපි දන්නව ඒ ක්‍රියාවලිය සිද්ධවෙන්න අවුරුදු පහක කාලයක් ගතවුනු බව.
නමුත් තවත් කෙනෙකුට ඒ ගත වූ කාලය ගැන නිරපේක්ෂව කියන්න අපිට පුළුවන් ද? අවුරුද්දක් කියන එක අපට තේරෙනවා, දැනෙනවා. නමුත් අවුරුද්ද කියන දෙය මෙන්න මෙහෙමයි කියල කාටවත් කියන්න පුළුවන් ද? (භෞතිකව නිරූපණය කරන්න පුළුවන්ද?) අවුරුදු ගතවෙනව අපිට තේරෙනවා. අපිට දැනීමක් තියෙනව අවුරුදු ගණන වැඩුණා කියලා.ඒත්, අපිට ඒ ගත වූ කාලය ගැන කෙනෙකුට හරියට පැහැදිලි කරන්න බෑ. ඒ කොහොම වුනත් අපිට කියන්න පුළුවන් යම් කාලයකදි ගසක් මෙච්චරක් උස ගියා, කඳ මෙච්චර මහත් වුනා කියලා.ඔව්, ඇත්ත තමයි. නමුත් මම මෙහෙම කිව්වොත්…? එකම දවසේ එකම මවු ගසකින් ගන්න සෑම අතින්ම එක සමාන බීජ 2ක් එකම දවසෙදි පැළ කරනවා. මේ පැළ වලට එකම විදිහට අවුරුදු පහක් සාත්තු කරනවා. ඒත්, එක් පැළයක (A පැළය) උස 5m හා කඳේ පළල 30cm ද, අනිත් පැළයේ (B පැළය) උස 9m කඳේ පළල 50cm ලෙස වෙනස් ප්‍රමාණ වලින් ගස් වැඩී තිබෙන බව ඔබට දකින්න ලැබෙනවා.එතනදී ඔබට සාපේක්ෂව දකින්න ලැබෙන්නේ A ගසේ උස හා B ගසේ උසයි.නමුත් එම සාපේක්ෂවීමත් ගොඩනැගී තියෙන්නෙ කාලයට සාපේක්ෂව බව මඳක් සිතාබැලුවොත් ඔබට වැටහේවි.
අපි දැන් භාවිතකළ මේ උදාහරණයේදී අපි කතා කළේ කාලය පිළිබඳවයි.නමුත් එහිදීත් අපිට දකින්න ලැබුණේ A පැළය හා B පැළය යන භෞතික නිදර්ශක දෙකයි.මේ අනුව අපි මුලින්ම තේරුම්ගන්න ඕනි භෞතික නිදර්ශක මෙන් අපට නොපෙනුනත්, කාලය කියන්නෙත් අපි අපේ පහසුව සඳහා යොදාගන්නා වෙනත් දේවල් මෙන්ම සාපේක්ෂ දෙයක් බවයි.
හිතන්න අපිට හෙට ඉඳන් රෑ වෙන්නෙ නෑ, හැමදාම ඉර එක වගේ පායලා තියෙනවා. දැන් ඉතින් ඔහොම දින, මාස, අවුරුදු, . . . ටිකෙන් ටික ගත වෙනවා. අපිට කාලය ගත වෙනවා කොහොම දැනේවිද කියලා හිතන්න. හරි දැන් හිතන්න දැන් පවතින විදිහයි, රෑ නොවෙන විටයි, දැනෙන කාලය පිළිබඳ වෙනස. අපිට එකම කාලය අවස්ථා දෙකකදි වෙනස්ව දැනෙනවා නොවෙද? එනම්, මේ අප පවසන කාලය යම් කිසියම් හෝ දෙයකට සාපේක්ෂ නොවේද?
මේ ගැන කථා කරන කොට අපට විද්‍යාවේ නොයෙකුත් දාර්ශනිකයන් මතක් වෙනවා. ඔව්. ඉන් ප්‍රධාන තැනක් නිව්ටන්ට, අයින්ස්ටයින්ට හිමිවෙනවා. නිවුටන්ගේ මතය ඇත්තෙන්ම චලිත නියම මෙන්ම ගුරුත්වාකර්ෂණ වාදය මත පදනම් වූවක්. එය අයින්ස්ටයින්ගේ කොන්ටම්වාදය(quantum law) හා සාපේක්ෂතා වාදය ඉදිරියේ ප්‍රතික්ෂේප වෙනවා. නිව්ටන් කාලය හා අවකාශය හඳුනා ගනු ලබන්නේ නිරපේක්ෂ ලෙසටයි. එනම්, ස්වායත්ත හිස් අවකාශයක ස්වාධීන කාලයක් පැවතිය හැකි බව පිළිගැනීමයි. ඔහුට අනුව කාලය සත්‍යවාදයකි; සත්‍යය එය එහිම ස්වභාවය හේතු කොට ගෙන මිස වෙනත් කිසිවක් හා සම්බන්ධව නොපවතී. ඒ නිසා එහි පැවැත්මට වෙනත් කිසිවක ලක්ෂණයක් හෝ සම්බන්ධයක් උවමනා නැත. වෙනත් කිසිම බාහිරත්වයක් හා සම්බන්ධ නොවන සැමවිටකම ඒකාකාරව හෝ නිශ්චලව පවතී. එනම්, නිවුටන්ට අනුව කාලය නිරපේක්ෂ දෙයකි.
නිව්ටන්ගේ මේ අදහස බිඳ වැටීමට අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය ප්‍රධාන ලෙස මුල් වෙනවා. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතා වාදය අනුව සෑම දෙයක්ම සාපේක්ෂව සිදුවන්නකි. එනම්, නිරපේක්ෂ නොවේ. කිසිම දෙයකට ස්වයං පැවැත්මක් නැත. ස්වතන්ත්‍ර වූ කිසිවක් නැත. ඒ ලෙස අප භාවිතා කරන වම- දකුණ, ලොකු – කුඩා, යන්න ද සාපේක්ෂ වේ. උදාහරණයක් වශයෙන් නියත ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් යැයි අප සඳහන් කරන්නේ එය පොළවට සාපේක්ෂව ය. එය වෙන ග්‍රහ ලොවක සිට නිරීක්ෂණය කළහොත් අපට පෙනෙන්නේ ඒ ග්‍රහලොවට සාපේක්ෂ ලෙස වස්තුවේ වේගයයි. එම වස්තුව ජලයේ ගමන් කළ විට එහි දී පොළවේ සිට බැලු විට හා එම වස්තුවේ සිටින විට වේග වෙනස් වේ. එනම්, මේ සාපේක්ෂ භාවයෙන් මිදීමට නොහැකි අවස්ථා ය.
අයින්ස්ටයින්ට අනුව කාලය සාපේක්ෂය. එසේ වුවද, ආලෝකයේ වේගය නොවෙනස්ව පවතිනු ඇත.ි මෙය තරමක් සංකීර්ණ න්‍යායායක් වන අතර එය අපි ඉදිරි කලාපයක පැහැදිලි කරගනිමු.
අප මහා දාර්ශනිකයා වන බුදුරජාණන්වහන්සේගේ දර්ශනය ද අප විමසා බැලිය යුතු ය. බුදු දහම නම් දර්ශනයේ කාලය ගැන සඳහන් වෙනවා. හුදෙක්ම අතීතය, වර්තමානය, අනාගතය ලෙස කාලය ගැන භාවිතා වුවද කාලය සීමිත ද? අසීමිත ද? ඇත්ත ද ? අනන්ත ද? යන්නට කෙලින්ම පිළිතුරක් දී නැහැ. එහෙනම් කාලය අවකාශය පිළිබඳ බුදුදහම දෙන පිළිතුර මොකක්ද? එනම්, පටිච්ච සමුප්පාදයයි. එනම් යම් හේතුවක් නිසා යම් දෙයක් සිදුවෙයි උදාහරණ වශයෙන් හිරු පායන නිසා ශාක වැඩෙයි. ශාක වැඩෙන නිසා ඵල හට ගනී. ආදී වශයෙන් සෑම ක්‍රියාවකටම හේතුවක් ඇත. එය බුදුදහමේ හේතුඵල දහම ලෙස හැඳින් වේ. එනම් බුදුදහම අනුවද කාලය සාපේක්ෂ ය.
දැන් ඔබ හිතයි කාලය ගැන එක එල්ලේ පිළිතුරක් දියනොහැකි නම් මෙය මැවීමක් ද කියලා. ඔව් ඇත්තටම එය මැවීමක් නොව නිර්මාණයකි. එය සර්වබලධාරී දෙවියෙකු හෝ වෙන භූත ආත්මයක් හෝ නිර්මාණය කළ දෙයක් නොවේ. එය මිනිසා විසින්ම තමන්ගේ පහසුවට නිර්මාණය කරගත් දෙයක්. අපිට කාලය අල්ලන්න බෑ. දකින්න බෑ. දැන් ඔබ කියයි, දැනෙන්න පුළුවන් කියලා. නෑ ඒක කාලයට සාපේක්ෂව අනිකුත් දේවල් වෙනස්වීමයි. අපි අඳුර ගන්නා කාලයේ ඇත්ත ඒකයි. නමුත් අපට කාලය කියන දේ දැනෙනවා. හරියට සුළඟ වගෙයි නේද?
ඔබ හිතන්න බලන්න අඟහරු හෝ මොන යම් ග්‍රහ ලොවක අප වැනි ජීවයක් පවතිනවා කියා. එම ග්‍රහ ලොවේ එක දවසක් පැය 24න් අවසන් නොවෙනවා නම්, අපි ගමු පැහැදිලි උදාහරණයක්. බ්‍රහස්පති වල මනුෂ්‍ය ජනාවාසයක් තියෙනවා නම් එහිදී දවසක් පෘථීවියේ වේලාවෙන් පැය 9ක් වෙනවා. අපි එහි ඉන්නා විට අපගේ වයස්ගත වීම සිදුවන්නේ බ්‍රහස්පතිට සාපේක්ෂව ය. එයට අනුව අපගේ ඔරලෝසුව පැය 9කට සාදා ගත යුතු ය. එවිට එහි වෙසෙන මිනිසෙකු හා පෘථීවියේ වෙසෙන මිනිසෙකු එක වෙලාවේ ඉපදුන ද ඔවුන්ගේ වයස සිටින තැන අනුව සාපේක්ෂව වයස වෙනස්වේ යැයි සිතිය හැක.
අපට දැනෙන කාලය ඔරලෝසුවට සාපේක්ෂව හඳුනා ගැනීමක් නොවේද ? ඔබට දෙගුණයකින් තරුණවීමට අවශ්‍ය නම්, ඔබ අද සිට දිනකට පැය 24 වෙනුවට දිනකට පැය 48ක දිනයක් ගෙවන්න. එවිට එම ඔරලෝසුවට සාපේක්ෂව අන් අයට වඩා ඔබ දෙගුණයකින් තරුණ වෙයි. ඇත්තටම කාලය යනු අපට කතා කර නිම කළ නොහැකි දෙයකි.
බෞද්ධ සාහිත්‍ය තුල එන මෙවැනි උදාහරණ ඇත්තෙන්ම කථාවක් ම නොවේ. එහි විද්‍යාත්මක හා තර්කානුකූල බවක් ද ගැබ්වී ඇත. උදාහරණයක් වශයෙන් ධම්ම පදට්ඨ කථාවෙහි එන පතිපූජිකා කථා වස්තුව ගෙන හැර බලමු. එහි දී පූජිත කුමාරි නම් දෙවඟනක් සිටි අතර එක් අවස්ථාවක දි ඈ දිව්‍ය විමානයෙන් මඳකට පිටතට පැමිණියාය. ඒ අවස්ථාවේ දී ඈ දිව්‍ය ලෝකයෙන් චුතව මිනිස් ලොවේ ඉපදිනි. ඈ හැදී වැඩී ළමාවිය පසුකර විවාහ වී, දූදරුවන් පෝෂණය කර දරු මුණුපුරු මිණිපිරියන්ගේ සෙනෙහස ද ලැබ අවුරුදු 80වේදී මිය ගියා. ඈ කළ පිං මහිමය හේතු කොටගෙන ඈ යළිත් ජීවත් වූ දිව්‍ය ලෝකයෙහිම උපත ලැබුවා ය. එවිට එහි වූ දෙවිවරු දෙවඟනන් ඇයගෙන් විමසුවේ පැය තුනක් තිස්සේ කොහි ගොස් සිටියා ද? යන්නයි. සාපේක්ෂ කාලය අනුව ඈට වයස බල පා ඇති අයුරු මෙයින් දැක්වේ.
එසේම මේ මතයට පසුකාලීනව ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ප්‍රවාදයක් තිබේ. එනම් නිවුන් සොහොයුරන් දෙදෙනා හා අවකාශයන් දෙක පිළිබඳ ප්‍රවාදය යි. ඔවුනොවුන් අතර සමාන ලක්ෂණ ඇති නිවුන් සොහොයුරන් දෙදෙනාගෙන් එක් අයෙකු අභ්‍යවකාශ ගමනක ආලෝකයේ වේගයෙන් යෙදුනේ යැයි සිතමු. සමාන්තර අවකාශයේ ඇති සමාන්තර ලොවකට ඔහුට ගොස් පැමිණීමට අවුරුදු 10ක් ගතවුනේ යැයි සිතමු. ගගනගාමී සොහොයුරා ආපසු පැමිණෙන විට ඔහුගේ වයස අවුරුදු 50ක් වේ. මෙලොව සිටි අනිත් නිවුන් සොහොයුරා මියගොස් එවිට සිටියේ ඔහුගේ මුණුපුරන් හා මිණිපිරියන් බව මෙම ප්‍රවාදයේදී ඔහු සඳහන් කරයි. මීට හේතුව, වූයේ ලොවෙහි කාලයෙන් අවුරුදු 150ක් ගෙවී ඇති නිසා ය. කාල අවකාශ රාමුවේ ඇති වූ වෙනස නිසා මෙසේ සිදුවන බව අයින්ස්ටයින්ගේ ප්‍රවාදයෙන් ඉදිරිපත් කර ඇත. කාලය හා අවකාශය සාපේක්ෂව වන බව බෞද්ධ ධර්මයේ ප්‍රකාශ වූයේ ඈත අතීතයේදීය. දැන් එම අදහස ගැන අයින්ස්ටයින් වැන්නවුන් මෙසේ අදහස් පල කරන්නේ බුදුදහම විද්‍යාවට සැසඳිය නොහැකි බව පෙන්වමින් නොවේද?
ලීවේ: සංජය පෙරේරා
Posted on April 24, 2010 · Categorized under Article Archive · Sinhala
අමිල සඳරුවන්, මේ දවස් වල නිතර ඇහෙන, බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වෙන “ජෝන් සීනා” ගීතයෙන් කරළියට පිවිසුන, ටිකක් අමුතු විදියක ප්‍රතිරූපයක් සහිත චරිතයක්.. ගීතය වගේම ගීතයට නිර්මාණය වුනු රූපරචනයත් වෙනස්ම විදියක එකක් වෙච්ච නිසා අමිල ෙප්‍ර්ක්‍ෂකයන්ට වඩාත් සමීප වුණා. සාමාන්‍යයෙන් දකින්න ලැබෙන නිර්මාණ සම්ප්‍රදායෙන් එක්තරා ආකාරයකට අපගමනය
වුනුු නිර්මාණයක් කරපු අමිලගෙ සාමාන්‍යයෙන් මතුවී නොපෙනෙන ප්‍රපංචයන් පිළිබඳ විමසා බලන්නට අපි ගියා අමිලව හොයාගෙන, කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට….
• අමිල කැම්පස් එකේ මොනවද කරන්නේ?
මං මේ දවස්වල නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය කරනවා.. දැන් යන්නෙ තුන්වෙනි අවුරුද්ද.. දැනට ඉතින් තියෙන ප්‍රධාන වැඩේ ඒක තමයි. මේ දවස්වල නම් විභාග හින්දා ටිකක් හිරවෙලා ඉන්නෙ. ඒකට කරන නාට්‍යයේ පුහුණුවීම් හින්දා…
• නදීක ගුරුගේ අධ්‍යක්‍ෂණය කරපු “රත්නවල්ලී” නාට්‍යයේ අමිලත් චරිතයක් කළා නේද?
ඔව්, ඒකෙ පුලින්ද කියන ගෙවලයගෙ චරිතය රඟපෑවේ මම..
• කොහොමද ඒකට සෙට් වුණේ?
ඒකට interviews තියෙන බව ආරංචි වෙලා මං ගිහින් බැලුවා.. එතෙන්දි පරීක්‍ෂණ කිහිපයකට පෙනීහිටින්න වුනා. මගෙන් ප්‍රශ්න කිහිපයක් ඇහුවා. මං බලල තියෙන නාට්‍ය, චිත්‍රපටි මොනවද, ඒවට කැමති, අකමැති වෙන්න හේතු වගේ දේවල් වලට මට උත්තර දෙන්න සිදුවුනා. ඒ පරීක්‍ෂණ වලින් තේරුණාට පස්සෙ තමයි නාට්‍යයට සම්බන්‍ධ වෙන්න ලැබුණෙ. නාට්‍යයේ පුහුණුවීම් වලට කලින් අපිට මාස හය හතක විශේෂ හඬ පුහුණු වක් තිබ්බා.. මොකෝ අපිට මේ තියෙන සාමාන්‍ය උගුරු කටහඬ මේ නාට්‍යයට සෙට් වෙන්නෑ . ඒ නාට්‍යය හදල තියෙන විදිය අනුව, music කරල තියෙන විදිය අනුව විශේෂයෙන්ම හුස්ම පාලනය කිරීම පිළිබඳව හැදෑරීමක් කරල audience එකට දැනෙන්න voice එක මෙහෙයවන්න ඕනිවුනා. ඒවයින් පස්සෙ තමයි මේ නාට්‍යයට සම්බන්ධ වුනේ.
• “රත්නවල්ලී” නාට්‍යය අමිල දකින්නෙ කොහොමද? ඒ නාට්‍යයේ කරපු චරිතය ගැන ටිකක් කිව්වොත්?
රත්නවල්ලී නාට්‍යයේදී මූලිකවම කතාකරන්නෙ ඉතිහාසයේ අපිට වෙච්ච වැරදීම් ගැන. ඉතිහාසෙ අපේ මිනිස්සු ගත්ත තීරණ ගැන මේ නාට්‍යයේදී ප්‍රශ්න කරනවා.අපේ මිනිස්සු සමහර තැන් වලදි ගත්ත තීරණ වල ආත්මාර්ථකාමී බව(ජාතියක් වශයෙන්) මේ නාට්‍යය රචනාකරපු සුනිල් විජේසිරිවර්ධන මෙතෙන්දි ප්‍රබල ලෙස මතුකරනවා. ඒ තීරණ නිසා අපේ සමාජය වෙනස් වුනු ආකාරය තමයි මේ නාට්‍යයේදී මූලිකව කතාකෙරෙන්නෙ . ඒ වගේම වර්තමානයට බලපෑම් එල්ල කරපු ඉතිහාසයේ ඇතැම් සන්ධිස්ථාන, පාලන තන්ත්‍රය විසින් සිය රාජ්‍යයේ ස්ථාවරත්වය පවත්වාගැනීමට ආගම සමඟ තිබූ සම්බන්‍ධය යොදාගත් ආකාරය වගේ දේවල් ඇතුළු ඉහත කාරණා සියල්ලම වගේ තරමක් ආන්දෝලනාත්මක ආකාරයට මෙහිදී කතාබහට ලක්කෙරෙනවා.
මේ නාට්‍යයේදී මම කරපු චරිතය, “පුලින්ද” කියන ගෙවලයා, දුටුගැමුණු රජතුමාගෙ චරපුරුෂ බලඇණියේ නායකයා වෙලා ඉඳලා මියගියාට පස්සෙ රජතුමාගෙ මන්ත්‍රණ කුටියෙ ගෙවල ආත්මයක් හැටියට රැඳි ඉන්නවා. මේ නාට්‍යයේ කාල තලයන් කිහිපයක් තියෙනවා. එළාර, දුටුගැමුණු හිටපු කාලෙ, වර්තමානය, ඔය අතරමැද විශේෂ සිදුවීම් වෙච්ච කාල වකවානු කිහිපයක් එහෙම. අර කාරණා කතා කරද්දි ඔය කාල තලයන් හරහා තමයි කතා කරන්න තියෙන්නෙ. පුරාවිද්‍යාඥයො කට්ටියක්, බෝසත් චරිතයක් වගේ මේ කාල වල ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මේ “පුලින්ද” කියන ගෙවලයා තමයි එක විදිහකට මේ කාල තලයන් ටික සම්බන්ධ කරන පාලම හැටියට වැඩ කරන්නෙ. මූ චරපුරුෂයෙක් නිසා තොරතුරු දෙන එක තමයි වැඩේ. ඔය අතරෙ ඉන්න බෝසත් කෙනා ඇතුළු කට්ටිය ගෙවලයා හරහා තමයි මේ සිදුවීම් වැල ගැටගහලා පෙන්නන්නෙ. ඒ අතරෙ බෝසත් කෙනා ගෙවලයා ඒ ගෙවල ආත්මෙන් මුදවගන්න දරන උත්සාහයක් එහෙමත් යනවා. අර කලින් කියපු කාරණා ඔය හරහා එකින් එක මතුකරලා පෙන්නනවා.
• සංගීතය පැත්තට යොමු උන විදිහ ගැන කතා කරොත්. දැන් අහන්න දකින්න තියෙන ශෛලීන්ගෙන් තරමක් වෙනස් විදිහක ගීතයකින් නේ මුලින්ම කරළියට ආවේ. ඒ විදිහෙ වැඩක් එක පාරටම කරන්න හිතුනෙ මොකද?
එහෙම කියලා අමුතුවෙන් යොමු විල්ලක් කියලා නෑ බං .. මම අමුතුවෙන් සංගීතය හදාරලාත් නෑ. ඔය රත්නවල්ලී එකට කරපු හඬ පුහුණුව ඇරෙන්න මුකුත් එහෙම කියලා කරලා නෑ. ඒ උනාට ආසාව තිබුනා. ඒත් එහෙම කියලා class ගිහින් පුරුදු වෙන්න උනේ නෑ. මම හැබැයි ගිටාර් එකක් අරගෙන එහෙන් මෙහෙන් ඕක ගගහ හිටියා. නදීක අයියගෙනුත් උදව් එහෙම හම්බවුනා. මම ඉතින් කට්ටිය play කරන දිහා බලන් ඉඳලා, ටික ටික අහගෙන තමයි පුරුදු වුනේ.කාලයක් යද්දි ඉතින් එක එක විදිහට ඕක ඇඟට ආවා. ලියන්න එහෙම සෙට් උනා. ඉතින් මම melody දාගෙන බලනවා ඔය ලියපුවට. දැන් මගේ මේ “ජෝන් සීනා” සින්දුවත් එහෙම ලියවිච්ච එකක් තමයි. ඕක මම ලියලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. අපෙ ජෙහාන් එක්ක නාට්‍යයක් කරා ඔය කාලෙ. ඒ දවස්වල නිකන් ඉන්න වෙලාවට මම ඕක ගහනවා.ටික ටික ඒකට melody එකක් සෙට් වීගෙන ආවා. ඉතින් වැඩ ඉවර උන වෙලාවට, පොඩි විවේකයක් හම්බ උනාම කට්ටිය ඉතින් කියනවා “මචං, අරක ටිකක් ගහපන්” කියලා. ඔහොම තමයි මුලින් ඕක හැදුනෙ. පස්සෙ තමයි ඔය අපෙ ජෙහාන් කිවුවෙ ඕකට අපි visual එකක් කරමු කියලා.ඕකට හරියන්නෙ මේ විදිහෙ රූප රචනයක් කියලා මුලින් ම අදහස දුන්නෙත් ජෙහාන් ම තමයි.
මගෙ ඔළුවෙත් ඕකට ආසන්න අදහසක් තිබුනා. වැඩිය වැඩ කෑලි නැතුව මේක කරන එක සාර්ථකයි කියලා. මේ සිංදුවෙ හැටි අනුව අපිට මේකට
visual එකක් කරන්න මහ ගොඩක් සල්ලි නොතිබුණු එකත් එක විදිහකට වාසියක් උනා. මේකට පසුබිම් වෙලා තියෙන්නෙ ලංකාවනේ.කොහොමත් සල්ලි තිබුණත් මේ සිංදුවට හරියන්නෙ, ඕක. “උඹ ඔය ඉදිරිපත් කරන විදිහ තමයි ඕකට ගැලපෙන්නෙ” කියන අදහස තමයි හැමෝගෙම තිබුනෙ. සමහරු හිටියා එහෙන් මෙහෙන් ඕකට කෙල්ලෙක් දම්මලා, ඔය අතට පයට මාල වලලු ටිකක් දාගෙන, චේ ඉන්න
T-shirt එකක් ගහගෙන . . අර ඒ විදිහෙ visual එකක් කරමු කියලා.ඒත් ඉතින් බං මේ කොන්ඩෙයි රැවුලයි තිබුණා කියලා මේක මහ දෙයක් ද? එහෙම අමුත්තක් වෙනම උලුප්පලා පෙන්නන්න ඕන කමක් තිබුණෙ නෑ. එහෙම මහ රැඩිකල් කියලා අමුතුවෙන් දෙයක් මේක අස්සට ඔබ්බන්න ඕන නෑනෙ. මේ සින්දුව ලිව්වෙ මම. ඉතින් බං මම ඒක විශ්වාසෙන් කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක
audience එකට යනවනෙ.මොකෝ වැඩේ ගැන මට විශ්වාසයි නේ. මම තෘප්තිමත් නෙ ඒකෙන්.ඒ නිසා තමයි ඔය විදිහෙ visual එකක් එක්ක මේක එලියට ආවෙ. නැතුව මේක මෙහෙම අමුතු විදිහට කරන්න ඕන කියන අදහසින් හැදුව එකක් නෙවෙයි.
• මේ සංගීත ක්‍ෂෙත්‍රයේ ඉදිරි ගමනක් යන්න මොකක් හරි character එකක් දැන් ඉඳන්ම හදාගෙන යනවද? තමන්ටම කියලා අනන්‍යතාවක් ගොඩනඟාගැනීමේ අදහසක් එහෙම තියෙකවද? දැන් මේ සිංදුව හරහා යම්කිසි ප්‍රතිරූපයක් රසිකයන් අතරෙ ගොඩනැගෙන්න ඇතිනෙ. ඒක දිගටම පවත්වගෙන යන්නද අදහස.?
අනේ මන්දා. මට නම් එහෙම දෙයක් නෑ. දැන් මේ සිංදුවට මේ විදිහ හොඳයි කියලා හිතිච්ච නිසා කරා මිසක් අමුතුවෙන් එහෙම චරිතයක් ගොඩනඟාගන්න මට නම් අවශ්‍යතාවයක් නැහැ. ඊලඟට ආයි සිංදුවක් කරද්දි හොඳයි කියලා වෙන විදිහක් හිතුනොත් ඒක ඒ විදිහට කරනවා. කලිනුත් අර මම කිවුවා වගේ වැඩේ ගැන මම තාප්තිමත් නම්, ඒක විශ්වාසයි නම් එච්චරනෙ ඕන. දැන් ඔය සිංදුව උනත් හැමෝම ගන්නෙ එකම විදිහට නෙවෙයිනෙ. ප්‍රේක්ෂකයා උනත් මේක ගන්නෙ තමන්ගෙ රස වින්දනය අනුවනෙ. ඒ නිසා එක විදිහකට ඒක මට අදාළත් නැහැ. මගේ රසික පිරිස බේරගන්න නම් මම මේ විදිහෙ නිර්මාණ දිගටම කරන්න ඕන කියලා හැඟීමක් නම් නැහැ.
• ඒ කියන්නෙ සමාජයට සාපේක්‍ෂව නෙවෙයිද නිර්මාණ කරන්නෙ..?
ඇත්තටම නෑ. එහෙම අවශ්‍යතාවක් පේන්නෙත් නෑ. මට හිතෙන විදිහට ඒ වෙලාවෙ හැටියටයි කරන්නෙ.
•සංගීතය, කලාව ගැන එහෙම තියෙන්නෙ මොන වගේ අදහසක්ද?
ඒක නිකන් ප්‍රශ්න පත්තරයක් වගේ මට හිතෙන හැටියට. ඔය මුකුත් කවුරුවත් නිර්මාණය කරන්න ඕන කියලා හදපු දේවල් නෙවෙයිනෙ. ලෝකෙ හුඟක් දේවල් වගේ අහම්බයන්ගෙන් පටන් අරන් ඒවගෙන් එලියට ආව ඵල වලින් නෙ මියුසික් එහෙමත් හැදිලා තියෙන්නෙ.. ඒවා කාලයත් එක්ක දියුණු වෙලා නෙ මේ විදිහට හැදිලා තියෙන්නෙ; මේවයි මූලික දේවල්, නියමිත ක්‍රමවේදයන් කියලා ලියවිලා එහෙම ඇත්තෙ. මම ඔය කාරණා ගැන දැනුවත් නෑ ඇත්තටම කිවුවොත්. මම සංගීතය හදාරලා නෑනෙ. ඒත් මට මොන විදිහකට හරි ගිටාර් එක ගහන්න පුළුවන්. මේ මේ තැන් වලට මේ සද්දෙ හොඳයි කියලා අදහසක් දැනෙනවනෙ. ගිටාර් එක විතරක් නෙවෙයි වෙන instrument එකක් උනත්. ඒකට අනුවයි මම සංගීතය දකින්නෙ. හිතේ තියෙන හැඟීම් ප්‍රකාශ කරන්න පුළුවන් මාධ්‍යයක් විදිහට. සමහර වෙලාවට ඒක drum එකක් වෙන්නත් පුළුවන්.මොකක් හරි.අවස්ථාවෙ හැටියට එන දේවල් පිටකරන්න හොඳ විදිහ වැඩේ අනුව තීරණය වෙනවා.
• Music වල තියෙන රීතීන්ට එහෙම ගරු කරනවද.? නැත්නම් ඒවා බිඳගෙන යන්නද උත්සාහ කරන්නෙ?
මෙතෙන්ට ඇත්තටම ඔය රීතීන් කියලා දෙයක් අදාළ වෙන්නෙම නෑ මම නම් කියන්නෙ. ඕවා උනත් මිනිස්සු රීතියක් හදන්න ඕන කියලා හදපුවා නෙවෙයිනෙ. කවුරුහරි කෙනෙක් ඒ අවස්ථාවෙ උගේ වැඩේට අවශ්‍ය ක්‍රමයක් හොයාගත්තම, ඒක කලින් ඉදිරිපත් වෙලා නැත්නම්, ඒක නෙ පස්සෙ රීතියක් කියලා ඉදිරිපත් වෙන්නෙ. මම ඇත්තටම ඕවා ගැන අවධානයක් යොමු කරලා නෑ. මගේ හිතේ තියෙන එකනෙ මම එලියට දාන්නෙ.ඉතින් ඔය කියන රීතීන් බිඳින්නවත් ඒවට ගරු කරන්නවත් කියලා විශේෂයක් කරන්නෙ නෑ.
•සංගීතය හුඟක් දැන් වාණිජ පැත්තට නැඹුරුවක් දක්වනවා නේ. ඒ ගැන තියෙන අදහස මොකක්ද? ඒක වරදක් හැටියටද දකින්නෙ. එහෙමත් නැත්නම් ඒක අනුමත කරනවද? සල්ලි ගැන එහෙම තියෙන අදහස?
වරදක් හෝ අනුමත කිරීමක් කියන්න දන්නෙ නෑ. ඔය තියෙන අරමුණු ඉතින් කාලෙත් එක්ක වෙනස් වෙනවනෙ ඇත්තටම කිවුවොත්. අද මොකක් හරි සිංදුවක් කරන එකා තව අවුරුදු 2 කිනුත් සිංදුවක් කරන්නෙ ඒ අරමුණෙන් ම වෙන්න තියෙන ඉඩකඩ හුඟක් ම අඩුයි.. තමන් කරන වැඩේට වටිනාකමක් දෙනවා නම් නිවැරදිව, ඒක නිර්මාණකරුවා දිරිමත් කිරිල්ලක්. ඒත් ඉතින් මේක මේ ගාණට විකුණගන්න ඕන කියලා කරොත් මට හිතෙන විදිහට එතන නිර්මාණයක් බිහි වෙන්න ඉඩක් නැහැ.ජීවත් වෙන්න සල්ලි ඕන වෙලා තියෙනවා. ඒත් මම ඒක ගැන එච්චරටම වැඩිය හිතන්න යන‍්නෙ නෑ. ඉස්සරහට ඒක එන විදිහකට බලනවා මිසක්. දැනට ජොබ් එකක් කරන්නෙත් නෑ. ඒ ඒ අවස්ථාවෙ මම ඉන්න පසුබිම අනුව ඒක තීරණය වෙයි. සල්ලි කොච්චර කොහොම හොයන්න ඕනද කියලා. දැනට මම කැමතියි මේ ජීවිතේට. ලොකුවට ප්ලෑන් ගහගෙන වැඩ කිරිල්ලක් නැහැ.. මම නම් කියන්නෙ ඒක මහ බොරුවක් නෙ බං., මේ මේ කාලෙ වෙනකොට මම මෙන්න මේ දේ කරනවා කියලා කරන්නෙ.
• එතකොට කලාව ඇතුලෙ රැඳිලා ඉන්නෙ ඇයි? මොකක්ද මේ ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නෙ? ආත්ම තෘප්තියද? හුඟ දෙනෙක් වෘත්තියක් හැටියට රැඳිලා ඉන්නෙ නැහැනෙ මේක ඇතුලෙ.
ඒක මට හරි පහසුවක්. ඇත්තටම එතන මට තෘප්තියක් කියලා දෙයක් තියෙනවා එක්තරා විදිහකට. දැනට. දැන් කොහොම කිවුවත් හැබැයි පස්සෙ කාලෙක ඕක වෙනස් වෙන්නත් පුළුවන්. දැනට මගෙ වටේ ඉන්න පිරිස නිසා හැදිලා තියෙන පසුබිමත් එක්කනෙ මම ක්‍රියාකරන්නෙ. ඉස්සරහට වෙන විදිහක තත්වයක් මතු වෙලා වෙනස් විදිහට වැඩ කරන්න උනොතේ මම ඒ වෙලාවට ඒකට නිදහසට කාරණයක් හදාගනීවි. ඕන කෙනෙක් එහෙමනෙ. බොරු කියවිලි අයින් කරලා ගත්තොත්, ඕන වැඩක් කරන මිනිහෙක් කරකියාගන්න දෙයක් නැති උනොත් කලින් නොකරන්න හිටපු දේවල් කරයි.ඒක ඒ පුද්ගලයාගෙ කෝණෙන් බැළුවම සාධාරණයි. ඒත් කවුරු හරි වැඩක් කරද්දි ඒකෙ තියෙන creative ගතිය, quality එක එහෙම පුද්ගලයගෙ පුහුණුව, හැකියාව, රස වින්දනය අනුව තීරණය වෙනවා.ඒක වෙනස් වෙනවා අඩුයි තරමක් දුරට. මම දැනට කලාව හරි මොකක් හරි එක්ක ඉන්නවා . .
• ඔය ලැබෙනවා කියන තෘප්තිය ගැන තෘප්තිමත් ද? ගත කරන ජීවිතේ ගැන, කරන වැඩ ගැන, ඔය ලබනවා කියන තෘප්තිය, ගත කරන ජීවිතේ, සමාජය, ගනුදෙනු කරන අනිත් පුද්ගලයො ගැන දකින්නෙ මොන විදිහටද?
ඒක මගේ අවශ්‍යතාව අනුව ඉතින් මම ම හදාගන්නවා. වැඩක් කරද්දි තෘප්තියක් ලැබුණට ටික කාලයක් ගියාම මට ඒක තෘප්තියක් නොවෙන්න පුළුවන්. සමහර වෙලාවට කරන වැඩ ගැන කල්පනා කරද්දි මගේම නිරුවත හෙලි වන වෙලාවල් තියෙනවා. හුඟ දෙනෙක් මේක ගැන සවිඥ්ඥාණික නැහැ. අපිට ඕන විදිහට හුඟක් දේවල් වල තේරුම් අපිම දාගන්නවා නෙ. ඒකෙන් හැමෝම තෘප්තියක් ම තමයි ලබන්නෙ. කරන වැඩ වලින් ඒ මොහොතෙ ජීවත් වීම තමයි ඉතින්.ඒක සාපේක්‍ෂයි මට. ඒක අදටත් ප්‍රශ්නයක්. හෙටත් එහෙම වෙයි මුකුත් පොටක් හම්බ නොවුනොත්.ලෝකය ගැන, සමාජය ගැන එක විදිහක තරහක් තියෙන්නෙ ඇත්තටම කිවුවොත්. මිනිස්සු කරන වැඩය,ි ඒවට ඉදිරිපත් කරන හේතුයි දැක්කම.ඒත් ඉතින් එක පාරට ආපහු මේකටම කඩාගෙන වැටෙනවනෙ. වගකීම්, ආශා, අවශ්‍යතා එහෙම මතු වෙනකොට. ඒ වෙලාවට ඉතින් තරහක් තමයි එන්නෙ.අනුන්ගෙ යහපතට කියලා කවුරු හරි දෙයක් කළත් ඒකෙනුත් මිනිහා යම්කිසි තෘප්තියක් නෙ ගන්නෙ… දැනට ජීවත් වන මොහොතෙ තෘප්තියත් එක්ක මම ජීවත් වෙනවා. ඊට වඩා දෙයක් තවම හොයාගන්න ලැබිලා නෑ.
• මේ සමාජය හරි ලෝකෙ හරි ඇතුලෙ(system එක ඇතුලෙ) තවත් එක් භූමිකාවක් රඟපාන එකද කරන්නෙ එතකොට.?
මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන විදිහ හොයන්න ගියොත් කෙලවරක් නැහැ කියලා තමයි හිතෙන්නෙ.එක එක පියවරවල් හොයාගත්තත් ඒකත් තව බලපෑමක් ඇතුව ක්‍රියාත්මක වෙනවා වගෙයි නෙ. මේ system එකට උත්තර හොයන්න යද්දි තවත් සිස්ටම් එකක් හම්බවෙනවා. ඒත් ඉතින් ඒකට විසඳුමක් දන්නෙත් නෑ. ඇත්තටම ඕක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඔළුව පුපුරන්න තරම් ඔය ගැන කල්පනාකළත් ආයෙ මුලටම එනව වගේ. ඒ කල්පනා වලින් එළියට ආපුවහම ආයෙමත් ගනුදෙනු කරන්න වෙන්නෙ මේ සමාජෙත් ඒක්කම නෙ.
මේ ඔක්කොම කලින් සැලැස්මකට වෙනවා වගෙයි එක අතකට. තෘප්තිය උදෙසා අපි වහල් වෙනවා වගේ. ඒ තෘප්තිය තමයි ඇම අපේ භූමිකාව රඟපානවට. ඒ උනත් ඒ සැලැස්ම හරි මොකක් හරි එකත් අර විදිහෙම තෘප්තියක් උදෙසා නෙවෙයි කියලා කොහොමද කියන්නෙ. ඕක කවුරු හරි හදපු එකක් කියමුකො. ඇත්තටම මම එහෙම කෙනෙක් ගැන නෙවෙයි කියන්නෙ. එහෙම හිතමුකො. ඒ කෙනාත් තෘප්තියට වඩා දෙයක් බලාපොරොත්තු උනා කියලා හිතන්න පුළුවන්ද? එයා අපිට සාපේක්‍ෂව උඩින් උනත් අර යාන්ත්‍රණේට අහුවෙලා ම නෙ වැඩ කරන්නෙ.
ඔහොම හිතාගෙන යනවා ඉතින් වෙලාවකට.ඒත් අර කිවුවා වගේ ආපහු එක පාරට මෙවුවා අස්සට ආයෙමත් කඩාගෙන පාත් වෙනකොට ඉතින්….ම්ම්හ්……. ඉස්සර ඉඳන් හැදිච්ච පසුබිම හින්දා සමහර දේවල් ඇඟටම පත්තියම් වෙලා ත් වගේ. ඒ රාමුවට එක අතකට හිර වෙලාදත් මන්දා. මේ සවිඥ්ඥාණික වීම පුදුමාකාර වධයක් ඇත්තටම කිවුවොත්. ඒක වරදක් ද නැද්ද කියන්න නම් දන්නෙ නැහැ.
• ඉස්සරහට මොකක්ද කරන්න හිතන් ඉන්නෙ? album එකක් එහෙම කරන්න අදහසක් තියෙනවද? සංගීතය හරි නාට්‍ය ගැන හරි නෙවෙයි, සමස්තයක් වශයෙන් ගත්තොත්?
අනේ නැහැ බං එහෙම කියලා විශේෂයක් කරන්නෙ නැහැ.. කලින් කිවුවා වගේ ඒක ඒ ඒ පසුබිම මත තීරණය වෙයි. මම හිතන්නෙ නෑ මට ඒක දැන් කියන්න පුළුවන් වෙයි කියලා. Album එකක් කරන්න නම් දැනට කොහෙත්ම අදහසක් නැහැ. අළුතෙන් විශේෂ යමක් කරොත් ඉතින් ඒක එදාට එලියට ඒවි. ඇත්තටම මට ඒ ගැන පෙරයීම් කරන්න බැහැ.
සාකච්ඡා කළේ:- රමේෂ්, කමල්, තිළිණ
Posted on April 24, 2010 · Categorized under Article Archive · Sinhala
පරිගණක යන්ත්‍ර ක්‍රියාකරනු ලබන්නේ විදුලිය ඇත නැත යන සංකල්පය යටතේයි. තවත් අතකින් පරිගණක ඇතුලු සියලු අංකිත ඉලෙක්ටොනික යන්ත්‍ර (Digital Electronic Devices) අංක මත පදනම්වූ ක්‍රම වේදයකින් ක්‍රියා කරන බව පැවසිය හැක. එසේ වුවද ඒවා භාවිතකරනුයේ මිනිසුන් බැවින් විවිද භාෂාවන් භාවිතා කරන්න සිදුවෙයි. මුල් කාලයේදී ඉංග්‍රිසි සහ වෙනත් භාෂාවන් කීපයකට පමනක් මෙය සීමාවුනත් මේ වෙන විට අනෙකුත් භාෂාවන් හී අක්ෂර ක්‍රමද පරිගණක ගත වෙමින් පවතී. සිංහල යුනිකේතය(Unicode) යනු සිංහල අකුරු ඉලෙක්ටොනික උපාංග(පරිගණක, දුරකතන ආදී) තුල හැසිරවීම සඳහා ඇති ජාත්‍යන්තර සම්මතයයි.
සිංහලයට සම්මතයක් අවශ්‍ය ඇයි?
මුල් යුගයේ ඉංග්‍රීසි අකුරු සඳහා පමණක් සම්මතයක් සකසා තිබූ නිසා සිංහල අක්ෂර, පරිගණකයෙන් ඇතුලත් කිරීමට ඉංග්‍රීසි අකුරු හැඩතල වෙනුවට සිංහල අකුරු හැඩතල ඇති අක්ෂර රටා (Font) නිර්මාණය වුනා. නමුත් විවිධ අක්ෂර රටා නිර්මාපකයින් තම තමන්ගේ අභිමතය පරිදි අකුරු සැකසීම සිදු කරනු ලැබුවා.
එක් සිංහල අකුරු රටාවක් ‘අ’ සඳහා ඉංග්‍රිසි ‘a’ අක්ෂරය පිහිටි තැනත්, තවත් සිංහල අකුරු රටාවක් විජේසේකර යතුරු පුවරුව අනුව යමින් ඉංග්‍රිසි ‘w’ අක්ෂරය පිහිටි තැනත් භාවිතා කළා. මේ ආකාරයට පරිගණකයෙන් කෙසේ හෝ සිංහල අකුරු ලිවීම කළ හැකි තත්වයට ගෙන ඒමට හැකිවු නමුත් සිංහල අකුර තවමත් තියෙන්නේ ඉංග්‍රිසි අකුරක් වෙනුවට. අනික් අතට විවිධ අක්ෂර නිර්මාණ ශිල්පීන් විවිධ ස්ථාන සඳහා සිංහල අකුරු(Font) නිර්මාණය කිරීම තත්වය තවත් අවුලෙන් වියවුලට ගෙනයන කාරණයක් වුනා. තත්වය එසේ වුවත් දැනටත් මෙම මාදිලියේ සිංහල අකුරු මුද්‍රණ මාධ්‍ය සඳහා බහුලව භාවිතා වෙයි.
පරිගණකය අක්ෂර මතක තබාගනුයේ ඒ ඒ අක්ෂරයට අදාළ සංඛ්‍යාමය අගයක් මගිනි. උදාහරණයක් ලෙස ඉංග්‍රීසි simple ‘a’ අක්ෂර සඳහා අනුරූප අගය වෙනුයේ 97 යි. අක්ෂර රටාවලින් (Font) මේ 97 යන අගයට විවිධ හැඩ තල දුන්නද, පරිගණකය තවමත් එය හඳුනනුයේ ඉංග්‍රීසි ‘a’ අක්ෂරය ලෙසමයි.
යුනිකේත අවශ්‍ය ඇයි?
යුනිකේත නොවන සිංහල අක්ෂර රටා සඳහා භාවිතා කළේ ඉංග්‍රීසි අකුරක් වෙනුවෙන් වෙන් කළ ඉඩ මයි. මිනිස් ඇසට සිංහල අකුරක් ලෙස හඳුනාගත හැකි වුවද පරිගණකය තවමත් එය හඳුනාගනුයේ ඉංග්‍රිසි අකුරක් ලෙසයි. මේ හේතුව නිසා පරිගණක වැඩසටහන් සඳහා සිංහල අකුරු සමග වැඩ කිරීමේදි ගැටළු රැසකට මුහුණදෙන්නට සිදුවෙනවෙයි. අක්ෂර දෝෂ හඳුනාගන්නා මෘදුකාංගය (spell checker) සිංහල අක්ෂර වලින් ඇතුලත් කර ඇති වදන් වැරදියැයි වරදවා දැක්වීම, අකාරාදී පිලිවෙලට (shorting) සැකසීමට නොහැකියාව, භාෂා කීපයක අක්ෂර එකවර භාවිතා කිරීමට නොහැකිවීම, භාවිතා කරන ලද Font ගොනුව(අක්ෂර හැඩතල) වෙනත් පරිගණකයකට ගෙනයන විට එම Font ගොනුව පිහිටවීම අත්‍යාවශ්‍ය වීම ආදී ගැටළු රැසකට මුහුණ දෙන්නට සිදුවේ.
මේ සියල්ලට විසඳුම යුනිකේත
යුනිකේත සමගින් සිංහල අක්ෂර සඳහා අනන්‍යවූ ස්ථානයක් ලබාදීම සිදු කරයි. මේ හේතුවෙන් පෙර පැවති සියලු ගැටළු විසඳා ගත හැකි වෙනු ඇත. යුනිකේත සියලුම සිංහල අක්ෂර සහ අක්ෂර රූප සඳහා අනන්‍යවූ ස්ථානයක්(අගයක්) ලබා දෙයි. සිංහල ‘අ’ අක්ෂරය සඳහා ලබාදී ඇති අනුරූපි අගය 3461 යි. 3461 අගය සිංහල “අ” අක්ෂර ලෙසම පරිගණකය හඳුනාගනී. සරලව කියතොත් මෙහිදී අක්ෂර රටාව(Font) මත යැපෙන්නේ නැත. මුල් ලිපිය යතුරු ලියනය කරන ලද යුනිකේත අක්ෂර රටාව පරිගණකයේ නැත්නම්, පරිගණකයේ ඇති ඕනෑම සිංහල සහිත යුනිකේත අක්ෂර රටාවකින් ඔබට සිංහල බලා ගැනීමට හැකි වනු ඇති.
සිංහල අක්ෂර මාලාව සංකීර්ණයි
සිංහල අක්ෂර මාලාවේ සැකැසුම සංකීර්ණයි. ඉංග්‍රීසි ලිවීම සඳහා භාවිතා කරනුයේ ලතින් අක්ෂරයි. ඉංග්‍රීසි භාෂාවේ පිලි නොමැති මුත්, බ්‍රාහ්මීය අක්ෂර වලින් සැකසුනු, සිංහල, දේවනාගර්(හින්දි), කාම්බෝජ, දෙමළ, තෙලෙඟු ආදී භාෂාවල ස්වර ව්‍යාංජන අක්ෂර සමග යෙදීමේදී විවිධ පිලි භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විවිධ සංයෝජන සඳහා වෙනමම අක්ෂර සංකේතයන් භාවිතා කරයි.
මේ නිසාම යුනිකේත සිංහල කරණයේදී විශේෂ තාක්‍ෂණික ක්‍රමවේදයන් කිහිපයක් භාවිතාකරනවා. මෙය තරමක් සංකීර්ණයි. සාමාන්‍ය පරිගණක පරිශීලකයින් පමණක් නොව බොහෝමයක් පරිගණක තාක්‍ෂණ වේදීන්ට පවා මේ පිලිබඳ ඇත්තේ අඩු වැටහීමක්.
යුනිකේත (Unicode)
මුලින් කීවාක් මෙන් යුනිකේතයනු ඕනෑම භාෂාවක් අක්ෂර පරිගණකය හරහා නිරූපණය කිරීමට යොදාගන්නා සම්මතයකි. මේ වන විට යුනිකේත සම්බන්ධ සියළු සම්මතයන් පවත්වගෙනු යනු ලබන්නේ යුනිකේත එක්තැන්සමිය (Unicode consortium) මගිනි. යුනිකේත භාවිතා කරන කවුරුන් හෝ එය භාවිතා කලයුත්තේ යුනිකොඩ් එක්තැන්සමිය විසින් ලබා දී ඇති නිර්දේශයන්ට අනුවයි. මේ හේතුවෙන් විවිද ආයතන හා විවිද පුද්ගලයන් විසින් නිර්මානය කරනු ලබන මෘදුකාංග එකම ප්‍රමිතියක් යටතේ ක්‍රියා කිරීමේ හැකියාව ලැබෙයි. දැනට යුනිකේත සම්මතය තුල ඒකීය අක්ෂර නිරූපණ 1114112 කට ඉඩ ලබා දී තිබේ.
සිංහල යුනිකේත
සිංහල යුනිකේත යනුවෙන් අපි හඳුන්වනුයේ යුනිකොඩ් සම්මතය මගින් සිංහල අක්ෂර සඳහා වෙන්කර ඇති ඉඩ ප්‍රමාණය සහ ඒ හා සබැඳි යුනිකේතයේ භාවිතාව යි. සිංහල, යුනිකේතයට ගෙන ඒමේ දී වර්තමානයේ හා අනාගතයේදී සිංහල අක්ෂර විද්‍යුත් මාධ්‍ය මගින් නිරූපණය කිරීමේදී ඇතිවන හෝ ඇතිවිය හැකි හෝ ගැටළු අවම වන ආකරයට නිර්මාණය කෙරින. ඒ සඳහා නූතන සිංහල හෝඩිය, සිංහල අකාරාදිය, සංකේත හා සලකුණු, ආදී නොයෙක් කාරනා සැලකිල්ලට ගෙන දැනට පවතින SLS 1134 දෙවන සංස්කරණය(2004) සකස්කර ඇත.
අක්ෂර නිරූපනය කිරිම සඳහා අංකමය ක්‍රමයක් භාවිතා වෙන බැව් අපි ඔබට සඳහන් කළා. ඒ අනුව යුනිකේතයේ සිංහල සඳහා අංක 3456 සිට 3583 දක්වා අක්ෂර 128 වෙන්ව ඇතත් සිංහල අකාරාදියේ අක්ෂර 61ද විවිද සංකේත හා අක්ෂර සමග සිංහල යුනිකේත වර්ණමාලාව සඳහා දැනට(SLS 1134 දෙවන සංස්කරනයට අනුව) අක්ෂර හා සංකේත 80ක් භාවිතා වේ.
සිංහල අකාරාදිය (වර්ණමාලාව)
නූතන සිංහල වර්ණමාලාව පිලිබඳ විවිද මත බේධනාත්මක අදහස් පවතී. සිංහල යුනිකේත නිර්මාණයේදී මේ සියලු කරුනු සැලකිල්ලට ගෙන ඕනෑම අක්ෂරයක් යුනිකේත මගින් යතුරු කරගත හැකි ආකාරයට සම්මතයක් ගොඩනා ඇත. ඒ අනුව යුනිකේත සිංහල වර්ණමාලාව පහත දක්වා ඇත.
පණකුරු(ස්වර)
අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ
සහ භාවිතයෙන් මෑත්වෙමින් පවතින ඏ ඐ ස්වර දෙක.
ගතකුරු (ව්‍යංජනාක්ෂර)
ක ඛ ග ඝ ඞ ඟ ච ඡ ජ ඣ ඤ ඥ ඦ ට ඨ ඩ ඪ ණ ඬ ත ථ ද ධ න ඳ ප ඵ බ භ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ
අනු පණකුරු
ං(අං) සහ ඃ (අඃ)
සිංහල යුනිකේත වර්ණමාලාව සඳහා නූතන හෝඩියේ අක්ෂර වලට අමතරව පහත සඳහන් අක්ෂර/සංකේත ද ඇතුලත්ව ඇත.
හල් කිරීම
් – ගත කුරක් හා එකට යෙදීමෙන් මූලික ගතකුරක් සකසා ගත හැක. (මූලික ගතකුරක් යනු ස්වරයක් සමග සම්බන්ද නොවූ ගතකුරයි. මූලික ගතකුරක් තනිව උච්චාරණය කළ නොහැකි නිසා නිරායාසයෙන්ම අ ස්වරය සෑම ගතකුරකට ඇතුලත් වී ඇත. සියලුම හල් අක්ෂර මූලික ගතකුරු වේ.)
ස්වර වෙනුවට ගතකුරක් සමග යෙදෙන පිලි හා සංකේත /ස්වර-සංකේත
ා ැ ෑ ි ී ු ූ ෘ ෙ ේ ෛ ො ෝ ෞ ෟ ෲ ෳ
ව්‍යාංජන අක්ෂර සමග උදාහරණ
ක් කා කැ කෑ කි කී කු කූ කෘ කෙ කේ කෛ කො කෝ කෞ කෟ කෲ කෟ
වෙනත් අක්ෂර හා සංඥා
෴ (කුන්ඩලිය) – සෙල් ලිපි වල නැවතීමේ ලකුණ ආකාරයට භාවිතා කරන ලද සලකුණක්.
සිංයල යුනිකේත තාක්‍ෂණය
‘සි’ අක්ෂරය ‘ස’ ගතකුර සහ ‘ඉ’ ස්වරයට අදාළ පිල්ල වන ඉස්පිල්ල (“ ි”) යන අංගයන් දෙක සංයෝජනයෙන් සකස් වී ඇත ඒ ආකාරයටම ක, ල, ද, ර, වැනි ගතකුරු සඳහා ‘උ’ ස්වරයට අදාල පිල්ල එකතු වීමෙන් කු,ලු,දු,රු යන අක්ෂර රූපය ලැබෙනවා. සෑම පිල්ලක්ම යම් කිසි ස්වරයක් සංකේතමය වශයෙන් දක්වයි. පිල්ලක් මින් නිරූපණය කරන ස්වරය යෙදෙන ස්ථානය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස ඇලපිල්ල(ැ) සෑම අවස්ථාවකදීම ‘ඇ’ ස්වරය පෙන්වුවද. ‘ර’ අක්ෂරයට පසුව යෙදනවිට ‘උ’ ස්වරය නිරූපණය කරයි.
යුනිකේතයද අනුගමනය කරන්නෙ මේ රටාවයි. යුනිකේත සිංහල අකුරු කොටස් කීපයකට වෙන් කරගනී. එනම් ගතකුරු, ස්වර, ස්වර සංකේත, ආදීලෙසයිි. යුනිකේතය සෑම විටම අක්ෂරයක් ඇතුලත් කිරීමේදී මුලින් ගතකුරත් පසුව ස්වර සංකේතයත් ඇතුලත් කරගනී. ඒ අනුව මි, රි, දු වැනි අක්ෂර තනි යුනිකේත අක්ෂරයකින් නිරූපණය නොවේ. “යුනිකේත දර්ශකය” නම් විශේෂ මෘදුකාංගයක් මගින් ඒවා තිරයේ දී හෝ මුද්‍රණයේදී තනි අක්ෂරයක් බවට පත් කරයි.
කොම්බුව විශේෂයි
බොහෝමයක් බ්‍රාහ්මීය මූලය ඇති භාෂාවන් වල “එ” ස්වරය වෙනුවට භාවිතා කරන ස්වර සංකේතය වන කොම්බුව අනෙක් ස්වර සංකේතවලට වඩා විශේෂයක් දක්වයි. සාමාන්‍යයෙන් අනෙකුත් ස්වර සංකේත(පිලි) ගතකුරකට උඩින්, පැත්තකින් හෝ යටින් එකතු වනමුත් කොම්බුව එකතු වන්නේ ගතකුරකට පෙරයි.
යුනිකේත මේ සඳහා අපූර්ව ක්‍රමයක් භාවිතා කරයි. කොම්බුවක් සහිත ගතකුරක් පරිගණකයේ ගබඩාකර ගනුයේ අනෙකුත් ස්වර සංකේත(පිලි) ලෙසටම ගතකුරට පසුවයි. නමුත් අක්ෂර පරිගණක තිරයේ දිස්වීම සිදු වෙනුයේ අප බලාපොරොත්තු වෙන ආකාරයටම කොම්බුව මුලටත් ගතකුර පසුවත් යෙදෙන ලෙසටයි. සමහර අය නොදැනුවත්කම නිසා මෙය සිංහල යුනිකේතයේ දුර්වල තාවයක් ලෙස දකියි. නමුත් කොම්බුව අකුරක මුලට යෙදුනලෙස අන්තර්ගතය සකස් කළහොත් සිංහල අකාරාදිය පිලිවෙලින් සකස් කිරීමට නොහැකි වෙනු ඇත.
බැඳි අකුරු, යංසය, රේපය සහ රකාරාංශය
සිංහල භාෂාවේ බැඳි අකුරු, යංසය, රේපය සහ රකාරාංශය ආදී සුවිශේෂ අංශයන් සිංහල යුනිකේතටද ඇතුලත් කොට ඇත. මේ සඳහා zero width joiner නම් විශේෂ අක්ෂරය භාවිතා කරයි. මේ සඳහා තරමක් සංකීර්ණ තාක්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය කරන බැවින් ඒ පිලිබඳ වැඩි විස්තර http://www.unicode.org/ අඩවියෙන් ලබාගත හැක.
සිංහල යුනිකේත භාවිතා කරන ඔබට වැදගත් වෙබ් අඩවි
රජයේ නිල වෙබ් අඩවි
http://www.siyabas.lk/ සහ http://locallanguages.lk/
සිංහල යුනිකේත ගැටලු විසඳා ගැනීම සඳහා
http://groups.google.com/group/sinhala-unicode ගූගල් සමූහයට පිවිසිය හැක.
සිංහල යුනිකේත සහ වෙනත් තාක්ෂණික ගැටලු සඳහා http://groups.google.com/group/techkatha
සිංහල බ්ලොග් අඩවි නැරඹීම සඳහා
http://sinhalabloggers.com/
සිංහල වෙබ් අඩවි සොයාගැනීම සඳහා
www.sinhalawebdirectory.com/
නිල Unicode වෙබ් අඩවිය
http://www.unicode.org/
පරිගණකයේ පිහිටවීම
ඔබ සතුව ඇත්තේ Windows XP පද්ධතියක්නම් සිංහල යුනිකේත වෙනමම පිහිටවා ගත යුතුය. ඒ සඳහා http://locallanguages.lk/sinhala_how_to_install_in_english.html යන ලිපිනයට පිවිසෙන්න. Windows Vista, Windows Server 2008 හෝ Windows 7 පද්ධතියක් නම් සිංහල යුනිකේත පිහිටවීමක් අවශ්‍ය නොවේ. නමුත් සිංහල අක්ෂර යතුරු ලියනය කිරීම සඳහා කුඩා මෘදුකාංගයක් ස්ථාපනය කළ යතුය. ඒ සඳහා http://www.siyabas.lk/files/SinhalaTamil_IME_Setup.exe අඩවියට පිවිසෙන්න. තව දුරටත් සිංහල පරිගණකියේ පිහිටවීම සඳහා සියලු උපදෙස් ඉහත සඳහන් කරන ලද වෙබ් අඩවි වලින් ලබාගත හැක.
සිංහල යුනිකේත අක්ෂර යතුරු කරනය
සිංහල අක්ෂර යතුර කිරීමේ සම්මත යතුරුපුවරුවේ සිංහල අක්ෂර පිහිටා ඇති ආකාරය පහත දැක්වේ.
http://www.siyabas.lk/docs/sin-kbd-layout5.pdf
සිංහල අක්ෂර යතුරු කිරීම සඳහා වඩාත් වේගවත්ම සහ පහසුම ක්‍රමය සම්මත විජේසේකර යතුරුපුවරුවයි. ඒසේ වුවත් වෙනත් ආකාරයේ යතුරු ලියන ක්‍රමද භාවිතා වේ. යතුරුපුවර ගැන වැඩි විස්තර සඳහා http://www.siyabas.lk/sinhala_unicode_keyboards අඩවියට පිවිසෙන්න.
ලීවේ: දසුන් සමීර වීරසිංහ
Posted on April 24, 2010 · Categorized under Article Archive · Sinhala
පරිගණක වෛරස ලෙස හඳුන්වනුයේ පරිශීලකයාගේ අනුදැනුමකින් තොරව ක්‍රියත්මක වන විනාශකාරී පරිගණක වැඩසටහනක්. මෙහි ඇති සංකීර්ණත්වය සහ විවිධ ස්වරූප නිසා බොහෝ දෙනාට වෛරස ගැන පැහැදිලි අවබෝධයක් නෑ. බොහෝ විට විනාශකාරී වැඩසටහන් සෑම දෙයක්ම වෛරස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටියත් ඇත්තෙන්ම මේ හැම එකකටම වෛරස් කියා කියන්න බැහැ. නමුත් බොහෝමයක් සමීප ලක්ෂණ මේවා අතර තියෙනවා.
Malware
Virus, spyware, worm, Trojan horse, අාදී සියලුම ආකාරයේ විනාශකාරී වැඩසටහන් හැඳින්වීමට යොදාගැනේ. බොහෝ විට වෛරස ලෙස වැරදියට හඳුනාගනී. Virus යනු එක ආකාරයක Malware විශේෂයක් පමණිි.
Virus
වෛරසයක් යනු ස්වයංක්‍රීයවම පරිගණකයකට පැතිරීමේ හැකියාව ඇති පරිගණක වැසටහනකි. එසේම පරිගණකයේ ධාවනය කළ හැකි (executable) ආකාරයේ වැඩසටහනකි. පරිගණකයක සිට තවත් පරිගණකයකට Network, Internet, Floppy disk, compact disk, DVD ආදී මාධ්‍යයක් හරහා පැතිර යා හැක. ධාවනය කළ හැකි (executable) ආකාරයේ ගොනුවක් සමග එකට ඈඳී පැතිරයාම මෙහි විශේෂ ලක්ෂණය යි.
Worm (wûrm -ව(ර්)ම්)
විශේෂයෙන්ම Network හරහා ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාව සතුයි. Internet සහ email මෙහි ප්‍රධානතම පැතුරුම් මාධ්‍යයි. බොහෝ විට worm ආකාරයේ malware ඒවා නිර්මාණය කරන ලද නිර්මාපකයාට පරිගණකයේ ඇති දත්ත Netwrok එක හරහා යොමු කරයි.
Trojan(trō’jәn) horse
ස්වයංක්‍රීයව පැතිරයා නොහැක. මේ නිසා මෙය වෛරසයක් ලෙස හැඳින්විය නොහැකි Malware වැඩසටහනකි. කිසිදා ආක්‍රමණය කළ නොහැකි යැයි කියූ ත්‍රොයි රාජ්‍යයට සතුරන් ඇතුල් වීමට අශ්වයෙකු සේ වෙස් ගත් රථයක නැග ඇතුලත් වූ කතාව ඔබ අසා ඇති. මෙම ආකාරයේ Malware අනුගමනය කරන්නේ මේ උපක්‍රමයයි. වෙනත් වැදගත් මෘදුකාංගයක් ලෙස පෙන්වා පරිශීලකයා නොමග යවා පරිගණකයේ ස්ථාපනය වේ. නමුත් පිටතින් පෙනෙන කාරණයට අමතරව තවත් යටි අරමුණක් සහිතව මේ වැඩසටහන පරිශීලකයාට නොදන්වා සිදු කරයි. උදාහරණයක් ලෙස පුද්ගලික දත්ත (credit cards විස්තර, passwords) නිර්මාපකයාට Network හරහා යැවීම දැක්විය හැකිය.
Spyware
පරිශීලකයාට නොදන්වා පරිශීලක ක්‍රියාකාරකම් ගැන ඔත්තු බලන Malware වැඩසටහනකි. Worm වලට මෙන් ස්වයංක්‍රීය පැතිරීමේ හැකියාවක් නොමැත. පුද්ගලික දත්ත එක් රැස් කිරීම සහ පරිගණකයේ සැකස්ම්(configuration) වෙනස් කිරීම නිතර දැකිය හැක.
Adware
බොහෝ දුරට හානිකරනොවේ. නොමිලයේ ලැබෙන මෘදුකාංග වල දැකියහැක. මෘදුකාංගය සමගම එය නිපදවන ලද ආයතනයට හෝ වෙනයම් අනුග්‍රාහක ආයතනයන් හී වෙළඳ දැන්වීම් බලෙන්ම පෙන්වීම මෙහි ස්වභාවයයි. සමහර Adware විටෙක පරිශීලකයාට නොදන්වාම අන්තර් ජාලය හරහා වෙළඳ දැන්වීම් ඩවුන්ලොඩ් කර පෙන්විය හැක. නොඑසේනම් දැන්වීම් අතර මග පෙන්වීම් අාදිය කරනු ලබයි.
ඉදිරි කලාපයකින් වෛරස සහ මැල්වෙයා වල ක්‍රියාකාරීත්වය ගැන තව දුරටත් හඳුනා ගමු.
ලීවේ – දසුන් සමීර වීරසිංහ
Posted on April 24, 2010 · Categorized under Article Archive · Sinhala